පාකිස්තානුවන් අන්දමන්ද කල ගෙවුන දශකයේ විශිෂ්ඨතම තරඟ අවසන් කරන්නා.

එය නම් එදා රැස්ව සිටි කවුරුත්ම බලාපොරොත්තු නොවන්නට ඇත….
සංගා දැවී යාමෙන් පසු පිටියට ආ මහේල පළමු පන්දුවෙන්ම අෆ්රිඩි හමුවේ දැවී යාම ?…
එය පපුවේ අමාරුවක් හැදෙන තරමේ අවස්ථාවක් වූයේ ලකුනු පුවරුව දෙස බැලූ විටය..
97-4(25) පන්දුවාර 25 කින් ලකුණු 150ක් අවශ්‍යය….

එය 2012 ජුනි 18 වනදා විය යුතුය..
පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව ජය තහවුර කරගන්නටද පකිස්ථානය තරඟාවලිය සමකරගන්නටද මාන බලමින් ප්‍රේමදාස පිටියට රැස් විය..
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය පන්දුවාර 50 අවසානයේ ලකුණු 247ක් ලබාගත්තේ උමාල් අක්මාල් හා ඉම්රාන් ෆර්හාට් ගේ අර්ධ ශතක දෙකත් සමඟිනි..
තරඟයක් දිය හැකි ලකුණු පුවරුවක් තිබුණි..

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය විනාස කි⁣රිමේ වගකීම සතුටින් බාරගත් සොහිල් තන්වීර් පන්දුවාර හයක් නිමාවන විට ආරම්භක පිතිකරු යුගල වූ ඩිල්ශාන් හා තරංගව නැවත ක්‍රීඩාගාරයේ ඉන්දවුයේ ඉනිම යන්තමට ලකුනු 19ක් සම්පූර්ණ කරද්දීය. පිටියේ එක්වූ සංගා හා චන්දිමාල් ලකුණු 79ක් එක් කළද සබඳතාව අවශ්‍ය පමණට වේගවත් කරන්නට නොහැකි වූයේ පකික්තානු පන්දු බල ඇණියේ දැඩි පීඩනය හමුවේය….

සංගා ලකුණු 40කට දැවී ගියේය.
එය ශේප් ය. මහේල ‘ගෝල්ඩන් ඩක්ය’.. ආන්න එය නම් ප්‍රශ්නයක්ය..
මැතිව්ස් චන්දිමාල්ට එක්විය….
ආපු වෙලාවේ ඉදන් උමාර්ගුල්ගේ කන ගාවින් යන බවුන්සර් හා සොහිල් තන්වීර්ගේ හිටිහැටියේම වේගය නැති වන පන්දුවලින් බේරීමක් නැතිවිය..
යාන්තමට මුල් පන්දු කිහිපයේ ඔලුව බේරාගත් මැතිව්ස් ප්‍රහාරයකට සැරසෙද්දීම නැවතත් හෙණ ගෙඩියක් පාත්විය..
චන්දිමාල් 54කට දැවී ගියේය…
තවත් ලකුණු තුනක් ගිය තැන තිසර පෙරේරා බින්දුවට දැවී ගියේය..
138-6කි..
පන්දුවාර 15කින් ලකුණු 110ක් ලබාගත යුතුය..
මැතිව්ස් අසරණ විය..
ගහන්නත් ඕනෑය…අවදානමක් ගන්නත් බැරිය..
පන්දු යවන්නන් පීඩනය එල්ල කරන්නත් පටන් ගෙනය..
අවසානයේ ඔහුගේ මනසින් ඔහුට නිවැරදි පිලිතුර එව්වේය..
” ගැප් එකට ගහල දුවපං මිනිහෝ”…
සැබැවින්ම ඔහු දිව්වේය…පුලුවන් උපරිමේටම හයියෙන් දිව්වේය..

තිර්මාන්න හා ජීවන් මෙන්ඩිස් සමඟ සෑහෙන්න දුරකට සාර්ථක සබදතා දෙකකට පසු කුලසේකර හා මැතිව්ස් පිටියේ එක්වන්නේ පන්දු 22ට ලකුණු 36ක් අවශ්‍ය විටදීය..

අවසන් පන්දුවාර දෙකේ ලකුණු 21ක් අවශ්‍යව තිබූ මොහොතක සොහිල් තන්වීර් 49වන පන්දුවාරය ලකුණු 6කට සීමාකලේ තරඟය පකිස්තානය පැත්තේ තබා අවසන් පන්දුවාරය මොහොම් සාමිට බාරදෙමිනි..

ඉලක්කය පන්දු හයකින් ලකුණු 15කි…
තීරණාත්මක පන්දුවාරයට මුහුණ දීමට මැත්වාස් සූදානම්ය..
සාම් සීරුවෙන්ය..
මිස්බා ප්‍රමුඛ පන්දු රකින්නන් සීරුවෙන්ය..
පළමු පන්දුව වයිඩ්ය…
හිත එකඟ කරගත් සාමි නැවතත් දිවවිත් යෝකර් එකකට තැත් කළේය…එවල යාන්තමින් ⁣ෆුල්ටොස් එකකි..
Long-on වලට පන්දුව යැවූ මැතිව්ස් අක්මාල් පන්දුව එවද්දී නැවතත් තම සීමා ඉරට පැමිණියේ ලකුණු දෙකක් සම්පූර්ණ කරගනිමිනි..
ඊළඟ පන්දුවටත් සාමි යෝකර් එකක් ට්‍රයි කළේය..
කලින් පාර ෆුල්ටොස් එකක් වූ පන්දුව මෙවර මැතිව්ස්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පතිත විය..
ඉරකි තිතති..
මෙවර නං උමාර් අක්මාල්ට පන්දුව තම හිසට ඉහලින් යනු බලා සිටින්නට විය..
පන්දුව වැ⁣ටුනේ Long-on හයේ සීමාවටත් මීටර් දෙක තුනක් එහාට වන්නටය…
කුලසේකරගේ දත් තිස් දෙකම එලියේය..
ඉලක්කය පන්දු හතරකින් ලකුණු හයක් දක්වා අඩුවිය.
⁣තුන්වන පන්දුව මිඩ්විකට් කලාපයට දැමූ මැතිව්ස් සොනික් වා⁣ගේ දුවන්නට විය..කුලසේකර බෑ බෑ ගාද්දිත් මැතිව්ස් නැවත අන්තය ලබාගත්තේය…
පිටියේම එකම ඝෝෂාවකි..
හතරවන පන්දුව කවර් කලාපය හරහා හතරේ සීමාවට ගියේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී තරඟය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි..
මැතිව්ස් නමට නොදැවුණු ලකුණු 80ක් පන්දු 76කින් ලියැවි තිබුණි../(4*4 6*2)
තරඟයේ වීර⁣යා මැතිව්ස්ය..තරඟාවලියේ වීරයා තිසරය..
තරඟාවලිය 3-1ක් ලෙස ලංකාව ජයගත්තේය..

ලංකාව වෙනුවෙන් අරුම පුදුම ඉනිම් ක්‍රීඩාකළ අතලොස්ස අතරට ඇන්ජෙලෝ මැතිව්ස් එක්වන්නේ නිතැතින්මය..
ආබාධ නොවන්නට ඔහු කොහෙන් නවතීවිදැයි අපි දන්නේ නැත..
පරාජය වන්නට තිබූ තරඟ ඔහුගේ පිත්තෙන්ද පන්දුවෙන්ද පන්දු රැකීමෙන්ද ජයග්‍රහණය කරදුන් අවස්ථා එමටය..
අදටත් ඔහු කණ්ඩායමේ විශ්වාසවන්තම තුන් ඉරියව්වාය..

බහුතරයකට තාමත් කුහකයා වන ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස් මට නම් ” ශ්‍රී ලංකන් සුපර්මෑන් ” වන්නේ එනිසාය..

©✍️ලුසිෆර් (ෆේස්බුක් සටහනක් ඇසුරෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button