සිංහ පැටවුන් එංගලන්තය සමග ගැටෙන පළමු තරගය අදයි – ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳවත් ඉඟි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (23) කාර්ඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතව තිබේ. මේ තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා විසින් දරන අතර, ඉයන් මෝගන් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරයි. එංගලන්තය මේ වන විස්සයි ශ්‍රේණිගත කිරීම්හි අංක එක ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අටවෙනි ස්ථානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් පෙරේරා විස්සයි විස්ස පිටියට පිවිසෙන්නේ වසරකට පසුවීම විශේෂත්වයක්. වාර්තා වන අන්දමට අද තරගයේ දී ඇතැම් විට කුසල් පෙරේරා අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇති අතර, ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු කටයුතු කිරීමට ඉඩ තිබේ.

පසුගිය එල්.පී.එල් තරගාවලියේ දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටින අතර, ඇතැම් විට ඔහු අද ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමේ අවස්ථාවද හිමි වනු ඇති.

එංගලන්තය වෙනුවෙන් ආබාධවලට ලක්ව සිටි ජොනී බෙයාර්ස්ටෝ සහ ඩාවිඩ් මාලන් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවත් වාර්තා වේ.

අද තරගය ක්‍රීඩා කරන කාර්ඩිෆ් ක්‍රීඩාංගනය එංගලන්ත කණ්ඩායමට වාසි දායක ක්‍රීඩා පිටියක් වන අතර එහි ක්‍රීඩා කළ සියලූම 20යි 20 තරග (තරග 6 ම) ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග ත්‍රිත්වයම එංගලන්තය විසින් ජය ගෙන තිබේ. 2014 වසරෙන් පසුව ශ්‍රී ලංකාව, එංගලන්තය විස්සයි විස්ස තරගයකින් පරාජය කොට නැහැ.

අද තරගයට කාලගුණය බලපාන අයුරු පිළිබඳවත් Cricket Glory අප සොයා බැලුවා. කාලගුණ වාර්තාවේ දැක්වෙන අන්දමට අද පැවැත්වෙන විස්සයි තරගයට වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button