රටම කතාවෙන ඒ අසහාය නිවේදකයාගේ ඔබ නොදත් කතාව..

මේ දිනවලට රටේම කතා බහට ලක්වෙන අසහාය නිවේදක දිනේශ් උපේන්ද්‍ර පිළිබදව‍යි මේ සටහන..

“ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුණි…
මම දිනේෂ් උපේන්ද්‍ර…”

ක්‍රීඩා විස්තර විචාරකයෙක් වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අසීරු ගමන සාර්ථකව යන වත්මන් පරපුරේ නිවේදකයෙක් තමයි ඔහු…

ඇත්තටම දිනේෂ් උපේන්ද්‍ර කියන්නේ කවුද…? මම කෙලින්ම ඇහුවා… සුපුරුදු ස්වරයෙන් මෙහෙම උත්තරයක් ආවා…

“දිනේෂ් උපේන්ද්‍ර කියන්නේ කොළඹ උපන් එහිම හැදුණු වැඩුණු එකෙක්. නිවේදකයෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් තිබ්බෙ නෑ. පාසල් කාලය තුළ කිසිඳු වාද විවාද, කථික වැනි දෙයකට කිසිම දවසක සම්බන්ධ වෙලා තිබුණෙ නෑ. නමුත් තදබල ක්‍රිකට් හීනෙක ජීවත් වුණු එකෙක්.”

” 1999 දි ලංකාවේ පැවැත්වුණු 19 න් පහළ ලෝක කුසලානය සඳහා පැවති මූලික තෝරාගැනීම් සදහා සුදුසුකම් ලද ක්‍රීඩකයෙක්. බොරැල්ල සුසමය වර්ධන වගේ පාසලක් නියෝජනය කරමින් එහි ගිය නිසා ඒ තුළ පැවති කැපිලි කෙටිලි දැක ක්‍රිකට් වලට සමුදුන් එකෙක්. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩා සමාජයකටවත් නොගිය එකෙක්…”

ඔහුගේ පිළිතුර වේගවත්. ඉවර නෑ. එතකොට කොහොමද නිවේදකයෙක් වුණේ…?

“දහම් පාසලේදී එහි කලා උළෙල නිවේදනය කළ යුත්තේ ගුරුවරුන් නොව සිසුන් විසින් යැයි කැරැල්ලක් මෙහෙය වූ නිසා නිවේදනයට කිසිම ශිෂ්‍යයෙක් ඉදිරිපත් නොවූ තැනදි මටම නිවේදකයා ලෙස ඉදිරිපත් වන්නට වූ නිසා අහම්බෙන්ම නිවේදකයෙක් වුණා. එතනින් පටන් අරගෙන ක්‍රීඩා නිවේදකයෙක් ලෙස රූපවාහිනී තිරයට එක්කාසු වූ එකෙක්. මෝටර් රථ තරග, පාපැදි තරග වැනි විස්තර කථනයට සිංහල භාෂාවෙන් වෙනම හැඩයක් හදන්න උත්සහ කරපු එකෙක්.”

මොන අවුරුද්දේද මාධ්‍යට එන්නේ…?

” 2004 දි.”

ගුවන් විදුලිය ගැන කතා කලොත්…?

” ගුවන්විදුලියේ මැද පෙරදිග වැඩසටහන් වලින් සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුණා. වැලි කතරේ ඉන්න ලාංකිකයො අතර යම් කීර්තියක් ලැබුනා ඒකෙන්. City FM එකේ ආරාධනා ස්වර දැහැන තුළ මම හදා ගත්තු වෙනම හැඩයක් තියෙනවා. ඒක හැම සිකුරාදාවකම ඉදිරිපත් කරන්නේ මම. සිකුරාදා රෑ 7.30 – 9.00 තමයි ටයිම් එක.”

” 2014 දී ගුවන් විදුලිය පුද්ගලික පාර්ශවයේ මැදිහත් වීමකුත් අරගෙන ආරම්භ කරපු ‘ ‘ ‘සිත් FM’ නාලිකාවේ වැඩසටහන් කළමණාකරු උනේ මම. ඒක මාස 8 කින් ලංකාවේ LMRB Rating වල 13 ට ගේන්න මට පුළුවන් උනා. ඒක තනිකරම මගේ නිර්මාණශීලී වෑයමක්. නමුත් ඒක අකාලයේ නතර කෙරුණා”

විස්තර විචාරක භූමිකාවෙන් මොනවද අමතක නොවන සිදුවීම්…?

” 2017 වර්ශයේ ඉන්දියාවේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එක්තරා අභියෝගයක් තිබුණා. ඒ තමයි ජාත්‍යන්තර විස්තර විචාරයේ නිරත ඉන්දීය විචාරකයින් නිතරම ශ්‍රී ලංකාව ඉතා පහත් කොට කතා කිරීම. ඒකෙදි ඔවුන් තීරණය කළා ජාත්‍යන්තර විස්තර කථනය මැද්දෙන් ලංකාවෙ අයට පමණක් සිංහල විස්තර කථනයක් ප්‍රචාරය කරන්න. ඒ වගකීම බාර දුන්නේ මටයි සේන නන්දිවීරටයි. ඒක මගේ ලොකු අවස්ථාවක්.”

“අවුරුදු ගණනාවක් ඔලිම්පික්, පාපන්දු සහ රග්බි ලෝක කුසලාන වගේ ලෝකයේ මහා ක්‍රීඩා සැණකෙළි වල රූපවාහිනී සජීවී විකාශයන් නිවේදනය කරලා තියෙනවා. ලංකාවේ හැම මෝටර් රථ ධාවන පථයකම නිවේදනය කරලා තියෙනවා. ආසියානු ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වගේම ලංකාවේ පැවැත්වෙන හැම දේශීය තරග උළෙලවල් (ජාතික මහා ක්‍රීඩා උළෙල, පාසල් මලල ක්‍රීඩා උළෙල, මහවැලි ක්‍රීඩා උළෙල , ජෝන් ටාබට්, යෞවන ක්‍රීඩා උළෙල) වගේ හැම එකක්ම නිවේදනය කරලා තියෙනවා.”

ක්‍රීඩාවේ සමහර අවස්ථා වල විවිධ ඉරියව් වගේ දේවලට සිංහල නම් පාවිච්චි කරනවනේ… ඔබ ඒවට සිංහල නම් දාලා එහෙම නැද්ද…?

” ඔය කාර් රේස් වලදි මම පාවිච්චි කරනවා ‘හහ්’ ගාලා පොඩි වචනයක්, ශබ්දයක්… ඒ රේස් වල තීරණාත්මක මොහොතේ උපරිම ජවයට ආවාම ඒක කියාගන්න මම භාවිත කරන භාෂාමය උපක්‍රමයක් ඒක. ඒක සෑහෙන ජනප්‍රියයි. ගොඩක් එවුන් මාව මතක තියාගන්නේ ඒ කෑල්ලෙන්. ඒ ‘හහ්’ එක මගේ හොද ටර්නින් පොයින්ට් එකක්.”

ටෙලිවිෂන් නිවේදකයෙක් කියන එකට වඩා රේඩියෝ නිවේදකයෙක් කියන එකට මම කැමතියි. හඩින් මවාගන්න රූපයකට බැදුණු අදෘශ්‍යමාන ස්‍රාවක ආදරයක් ඒක ඇතුලේ තියෙනවා. ඒක මරු.”
මිත්‍රයා කතාව අවසන් කළා..

දිනේෂ් උපේන්ද්‍ර දැනුම ගබඩාවක්.. බාහිරින් පෙනෙන දිනේෂ් සහ ඇතුළත ඉන්න දිනේෂ් හරි වෙනස්…

නිවේදක භූමිකාවේ දිගු ගමනක් යන්න ඔබට සුබ පැතුම්…

Facebook සටහනක් ඇසුරින්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button