පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනසක් – ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් ජ්‍යේෂ්ඨයෙක් සංචිතයට ?

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කළා. ශ්‍රී ලංකාව විසින් ICC ය විසින් සංචිතය නම් කිරීමට ලබා දුන් අවසන් දිනයත් ඉක්මවා සංචිතය නම් කිරීම විශේෂත්වයක්. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා T20 සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනෙකු ඇතුලත්.

ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම මෙතරම් ප්‍රමාද වූයේ සංචිතය නම් කිරීම උදෙසා ඇති වූ දීර්ඝ සංවාදය හේතුවෙනි. ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු මිකී ආතර්, ක්‍රිකට් උපදේශන කමිටුව, තාක්ෂණික කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨයන් අතර ලෝක කුසලාන සංචිතය උදෙසා දීර්ඝ සාකච්ඡාවක් ඇතිව තිබුනා.

මෙහිදී එක් පාර්ශවයක යෝජනාවක් වී තිබුනේ දැනට තේරීම් සඳහා සළකා නොබැලුනු T20 ආකෘතියේ සුපිරි දස්කම් දැක්වූ ජ්‍යේෂ්ඨයන් පිළිබඳව ලෝක කුසලාන සංචිතය උදෙසා තේරීම් සිදු කිරීමේදි සළකා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපතිවරයා ඒ සඳහා එතරම් කැමැත්තක් පෙන්වා නැහැ.

වාර්තා වන අන්දමට ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලානය උදෙසා සංචිතයන් සැකසීම තෙවරක් සිදු කර තිබෙන අතර, අවසානයේ ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යවා ප්‍රසිද්ධ කර තිබෙන්නේ තෙවැනි සංචිතයයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරගයත් තේරීම් කමිටුව විසින් නරඹා සංචිතය නම් කිරීමට යොදාගෙන තිබෙනවා.

මින්පෙර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට සිටි ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙස සැලකෙන ළහිරු මදුෂංක සංචිතයට නම් කර ඇත්තේ ඒ අනුවයි. වාර්තා වන අන්දමට දකුණු අප්‍රිකාව සමග තරගාවලි පරාජයෙන් පසු සංචිතයේ යළි වෙනස්කමක් කිරීමට ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු විසින් තේරීම් කමිටුවට යෝජනා කර තිබෙනවා.

එහිදි ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙන්නේ T20 තරග රටාවේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පළමු විස්සයි විස්ස තරග දෙකෙහි දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව මෙම යෝජනාව තවත් ප්‍රබල කර තිබේ.

තේරීම් කමිටු සභාපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික කණ්ඩායමට ශාරීරික යෝග්‍යතා මට්ටමේ ගැටලු පවතින ක්‍රීඩකයන් ඇතුලත් කිරීම ගැටලුවක් බවයි. කෙසේ වෙතත් ප්‍රති පාර්ශවය ප්‍රකාශ කර තිබුනේ දක්ෂතාවන්හි අඩුවක් නොවන නිසාත්, ලෝක කුසලානය අතිශය වැදගත් වීම හේතුවෙන් කණ්ඩායමට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය අවශ්‍ය බවයි.

මේ අනුව ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය සවිමත් කිරීමට සුපිරි වේගපන්දු යවන්නෙකු සංචිතයට එක්කිරීමේ ඉඩක් මතුව තිබෙනවා. සංචිතය නම් කළත්, ඒ සඳහා වෙනස්කම් සිදු කිරීමට අයි.සී.සීය විසින් එළඹෙන ඔක්තෝම්බර් මස දක්වා කාලය ලබා දී තිබෙනවා.

කන්ඩායමට කැඳවුවහොත් පැමිණ අවශ්‍ය ඕනෑම මොහොතක සහය ලබා දීමට හැකි බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මින්පෙර ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button