ලසිත් මාලිංග එක්වරම ක්‍රීඩාවෙන් සමුගත්තේ විශේෂ වැඩකටද ?

සුපිරි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (14 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළා. මින් පෙර 2011 වසරේදි ලසිත් මාලිංගටෙස්ට් තරගවලින් සමුගත් අතර පසුගිය 2019 වසරේදි ඔහු එක්දින තරගවලින් සමුගත්තා.

ඊයේ දින ඔහු සමුගත්තේ විස්සයි විස්ස තරග රටාවෙනි. ලසිත් මාලිංග 38 වෙනි වියෙහි පසුවෙයි.

ලසිත් මාලිංගගේ සමුගැනීමේ විශේෂත්වය වන්නේ මින්පෙර ලසිත් මාලිංග ප්‍රකාශ කළේ තමන්ට ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමි නොවුනත් තමන් සමුගැනීම ප්‍රකාශයට පත් නොකරන බවයි. මින්පෙර ලෝක කුසලානය උදෙසා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේද ලසිත් මාලිංගට අවස්තාවක් හිමිව නැහැ.

එවැනි පසුබිමක ලසිත් මාලිංග ලෝක කුසලානයට මාසයක් පමණ තිබියදී ක්‍රීඩාවෙන් සමුගත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට සහය දීමට බලාපොරොත්තුවෙන් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. මින්පෙර කණ්ඩායමට පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස එක්වන්නයිද ලසිත් මාලිංගට ඇරයුම් ලැබුනා.

කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස හිටපු සුපිරි ක්‍රීඩක සහ පුහුණුකරු මහේල ජයවර්ධනටත් එක්වීමට මින්පෙර ඇරයුම් කර තිබෙනවා.

මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග සැළකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි තාක්ෂණික කරුණු පිළිබඳව ඉතා විශිෂ්ඨ දැනුමක් පවතින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙසයි. මින්පෙර ඉන්දීය කණ්ඩායමද T20 ලෝක කුසලානයක් දිනූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනී කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස නම් කළා.

සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් ලසිත් මාලිංග සටහන් කර තිබුනේ

“අද මට හුඟක් විශේෂ දවසක්. මගේ විස්සයි20 තරග දිවිය පුරා මට නොයෙක් අයුරින් උදව් කළ සියලුම දෙනාට මම ස්තූතිවන්ත‍ වෙනවා. අද මම විස්සයි20 තරග රටාවෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීමට තීරණය කළා.” යැයි සිය යූ ටියුබ් නාළිකාව ඔස්සේ සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් මාලිංග පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම මුම්බායි ඉන්දියන්ස්, මෙල්බර්න් ස්ටාර්ස්, කෙන්ට්, රාංපූර් රයිඩර්ස්, ගයානා වොරියර්ස් සහ මරාතා වොරියර්ස් සහ මොන්ට්‍රෙල් ටයිගර්ස් යන කණ්ඩායම්වලට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මම කැමතියි ඉදිරියේදී තරුණ ක්‍රීඩකයන් සමග මගේ අත්දැකීම් බෙදාගන්න.” යනුවෙනි.

මින්පෙර ලසිත් මාලිංග ඉන්දීය ප්‍රීමියර් ලීග් කණ්ඩායමේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේද පුහුණුකරන උපදේශකයෙක් ලෙස කටයුතු කළා.

වර්තමාන ඉන්දීය කණ්ඩායමේ අතිදක්ෂ වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා තමන්ගේ දියූණුවට ලසිත් මාලිංගගේ උපදෙස් ඉතා විශාල බලපෑමක් සිදු කළ බව මින්පෙර ප්‍රකාශ කළා.

T20 තරග 84 කදී කඩුලු 107 ක් දවාගත් මාලිංග, ජාත්‍යන්තර T20 තරගවලදී කඩුලු 100 සීමාව පසුකර ගිය ලොව ප්‍රථම ක්‍රීඩකයාද. 2019 වසරේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලෙකැළේදී පැවැති තරගයකදී පිටම යවන ලද පන්දු 4 කදී දවාගත් කඩුලු 4 ක්ද සමග ලකුණු 6 කට කඩුලු 5 ක් බිඳහෙළීම මාලිංගගේ හොඳම පන්දු යැවීම විය.

ඉන්දීය ප්‍රීමියර් ලීග්, බිග් බෑෂ් ලීග්, කැරිබියන් ප්‍රීමියර් ලීග් වැනි ලොව පුරා T20 තරග 295 කදී කඩුලු 390 ක් දවාගත් මාලිංගගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 19.68 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අනුශූරතා දිනාගත් 2009 සහ 2012 T20 කණ්ඩායම් වල නිත්‍ය වේග පන්දු යවන්නෙක් ලෙස කටයුතු කළ මාලිංග, 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙසද කටයුතු කළේය. ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් විය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button