ක්‍රිකට් ලොක්කන් මැදිහත් වේ – විනය කැඩූ තුන්කට්ටුවට LPL වරම් – අභියාචනා සළකා බැලීමටත් සුදානම්!

තරග තහනමකට ලක්ව සිටිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාම මේ වන විට වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නමුත් නියමිත කාලය ඉක්ම යාමට පෙරම ඔවුන් යළි ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමේ ඉඩක් පවතින බව වාර්තා වේ.

මෙහි පළමු ඉඟිය හෙළිදරව් වූයේ කුසල් මෙන්ඩිස් සී.සී.සී. පිල හැරදා එස්.එස්.සී. පිලට එක්වීමත් සමගිනි.

වාර්තා වන ආකාරයට, මෙම තිදෙනාගේ තහනම දේශීය තරග සඳහා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලමින් සිටී. ඒ පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියද ඉලක්ක කරගනිමිනි.

එළඹෙන ඔක්තෝම්බර් 20 වැනිදා අන්තර් සමාජ තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියට පෙර මෙම ක්‍රීඩකයන්ගේ තරග තහනම ඉවත් කිරීම අවිනිශ්චිතය.

නියමිත මාස 6 ඉකුත්වීමට පෙර දේශීය තහනම ඉවත් කෙරුණහොත් දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භවීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කිරීම මෙම ක්‍රීඩකයන් තිදෙනාගේම අරමුණ වී තිබෙන බවත් වාර්තා වේ.

පසුගිය ජුලි මාසයේ පැවැත්වූ එංගලන්ත සංචාරයේදී සිදු කළ විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් වසරක අන්තර්ජාතික තරග තහනමකට මුහුණ දී සිටින මෙම ක්‍රීඩකයන් තිදෙනාට රුපියල් කෝටියක දඩ මුදලක්ද ක්‍රිකට් ආයතනය විසින් නියම කළේය.

මේ දඬුවම් වලට අමතරව ක්‍රීඩකයන් තිදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරන ලද මානසික වෛද්‍ය උපදේශකවරයකු සෑම සතියකදීම හමුවී උපදෙස් ලබාගත යුතුය.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිර්දේශ කරනු ලැබ ඇත්තේ කොළඹ නවලෝක රෝහලේ මනෝ වෛද්‍යවරයෙකි.

තමන්ට එරෙහිව පනවන ලද තහනම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තිදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ එම අභියාචනා සලකා බැලීමට නම් අඩුම තරමේ මාස 3 ක කාලයක් වත් මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති වසරක කාලයක් සඳහා වන අන්තර්ජාතික තරග තහනමත්, වසර දෙකක් සඳහා අත්හිටුවන ලද අන්තර්ජාතික තරග තහනමත් එලෙසින්ම පවතිනු ඇත.

නිරෝෂන් දික්වැල්ල හැරුණු විට, අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාම සම්බන්ධයෙන් අතීත වැරදි රැසක් තිබේ. ඒ බොහෝ අවස්ථාවලදී ධනුෂ්ක ගුණතිලක මෙන්ම කුසල් මෙන්ඩිස් දෙදෙනාම ගැළවුණේ දෙදෙනා ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ වල ප්‍රබලයන්ගේ අනුහසිනි. කුසල් මෙන්ඩිස් සී.සී.සී. ක්‍රීඩා සමාජයටද ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී. ක්‍රීඩා සමාජයටද ක්‍රීඩා කළහ.

ඒ හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබලයන් රැසක්ම මෙම ක්‍රීඩකයන්ට සමීපව කටයුතු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button