EPL පිටියේ ශ්‍රී ලාංකිකයන් වැඩ පෙන්වයි – සඳුන්, ධම්මික, උපුල්ගෙන් සුපිරි දස්කම්!

නේපාල ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) T20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල නේපාලයේදී පැවැත්වෙනවා.

තරගාවලියේ ඊයේ දින (30) පැවති තරග දෙක තුලදීත් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා.

තරගාවලියේ නවවන සහ දහවන තරග මෙලෙසින් නේපාලයේ කීර්තිපූර් ක්‍රීඩාංගණයේදි පැවැත්වුණා.

09 වන තරග‍ය ලෙසින් සීක්කුගේ ප්‍රසන්න නියෝජනය කරන චිත්වාන් ටයිගර්ස් කණ්ඩායම සහ කත්මංඩු කිංග්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුනා.

එහිදී කාසියේ වාසිය දිනූ චිත්වාන් ටයිගර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කත්මංඩු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි කත්මංඩු කිංග්ස් පිතිකරුවන්ට කඩුලු 8ක් දැවි නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141 ක් පමණයි.

එහිදී ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න පන්දුවාර 03 ක් යවා ලකුණු 20 කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චිත්වාන් ටයිගර්ස් කණ්ඩායම තමන්ට හිමි වූ ඉලක්කය පහසුවෙන් හඹා ගියේ පන්දුවාර 18.4 කදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය වාර්තා කරමින්. එහිදී සිකූගේ ප්‍රසන්න ලකුණු පහකට දැවී ගියා.

තරගාවලියේ 10 වන තරගය ලෙස බයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ලලිත්පූර් පේට්‍රියට්ස් කණ්ඩායම තරග වැදුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීමට ලලිත්පූර් පේට්‍රියට්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලලිත්පූර් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 177 ක් රැස්කළා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි පන්දු 41 කදි ලකුණු 58 ක් වාර්තා කළා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් පහහ් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුනා. ඕෂද ප්‍රනාන්දු පන්දු 19කින් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදි ධම්මික ප්‍රසාද් සිය පන්දුවාර හතර තුල ලකුණු 30 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.

 

ලකුණු 178 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 177ක් ලබා ගත්තා. ඒ අනුව කණ්ඩායම් දෙකේ ලකුණු සම වීම විශේෂත්වයක්.

එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 44 කදි නොදැවී ලකුණු 67 ක් වාර්තා කිරීමට සමත් වුණේ යෝද හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 6 ක්ද සමගින්.

මෙහිදී කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කිරීමට තරග තීරකයා විසින් තීරණය කළා. ඒ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන්. ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංගහටයි. තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලාභියා ලෙසින් ඉදිරියෙන් පසුවන්නේද උපුල් තරංගයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button