සිංහ පැටවුන් ජය ධජ බන්දයි – ඕමානය පරදා ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරග දෙකකින් යුත් T20 තරගාවලියේ පළමු T20 තරගයේ ඕමානය ලකුණු 20කින් පරදා ශ්‍රී ලංකාව ජය ගත්තා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානකගේ සටන්කාමී වේගවත් පිතිහරඹය කැපි පෙනුනා.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමාන නායක සීශාන් මක්සූද් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඕමාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉදිරිපෙල පිතිකරුවන්ට සාර්ථකව වීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුලු තුනම ලකුණු 21ක් තුල බිද වැටුණේ ශ්‍රී ලංකා ඉනිම දැඩි අවධානමකට ලක් කරමින්.

ආරම්භක පිතිකරුවෙකු වූ දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර, අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස්ද පළමු පන්දුවෙන්ම දැවී ගියා.

සීමිත ඕවර තරග වලදි දිගින් දිගටම අසාර්ථක පැතුම් නිස්සංක රැස් කළේ පන්දු 14කින් ලකුණු 8ක් පමණයි. භානුක රාජපක්ෂ පන්දු 21කින් ලකුණු 15ක් ලබා සිටියදී දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස භානුක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ පන්දුවාර 10.4ක් අවසානයේ ලකුණු 51ක් ලෙසයි.

ඒ අනුව එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු පුවරුවක් නොව ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වීමට සිදු වුණා.

කෙසේ වෙතත්, ඉන්පසුව පිටියට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු හා නායක දසුන් ශානක සුපිරි පිතිහරඹයක නිරත වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි ලකුණු 162ක් දක්වා රැගෙන යමින්.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 111ක්. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත වූවා.

නායක දසුන් ශානක වේගවත් ලකුණු 51ක් රැස් කළේ පන්දු පන්දු 24කින්. ඔහුගේ ඉනිම ද දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් වූ අතර, හතරේ පහර 2ක් ද දසුන්ගේ ඉනිමට ඇතුළත් වුණා.

එක් අවස්ථාවක ඔවුන් දෙදෙනාගේ හයේ පහරවල් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් සමාන කළේ සුළි කුනාටුවකටයි.

පන්දු යැවීමේ දී ඕමානය වෙනුවෙන් සාර්ථක වූ ෆයියාස් බාත් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි. ඕමාන කණ්ඩායමේ ද මුල් පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, අංක 8 පිතිකරු වූ නසීම් කුෂි හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින් ලකුණු 40ක් රැස් කළේ පන්දු 22කින්. මොහොමඩ් නදීම් ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ලකුණු 7කට කඩුලු 2ක් ද, චාමික කරුණාරත්න ලකුණු 28කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button