තලපති දෝනි ඉතිහාසයේ නම ලියවයි – මුම්බායි, බැංගලෝර් දන නමද්දී CSK නොසැලි ඉදිරියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යළි යළිත් පසක් කරමින් සිව්වෙනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතාවයත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි විසින් නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම සමත් වුනා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පහසුවෙන් පරාජයට පත් කරමිනි.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර විස්ස තුල ලකුණු 192 රැස් කළේ කඩුලු තුනක් පමණක් දැවී යද්දියි.

ආරම්භක කඩුල්ල සදහා ෆෆ් ඩු ප්ලෙසිස් සහ රුතුරාජ් ගයික්වඩ් ලකුණු 61ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

නොම්මර තුන ක්‍රීඩකයා ලෙස පිටියට පැමිණි රොබින් උතාපා පන්දු 15කින් වේගවත් ලකුණු 31ක් රැස් කළේ යෝද හයේ පහර 3ක් සමගින්.

මොයීන් අලී පන්දු 20ක් තුල වේගවත් ලකුණු 37ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුනා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩු ප්ලෙසිස් පන්දු 59කින් ලකුණු 86ක් වාර්තා කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

ලකුණු 193ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පී.එල් ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවා. ඒ, 2010, 2011 හා 2018 යන වසරවලදීයි.

මේ වසරේදී ඔවුන් වයස්ගත ක්‍රීඩකයන් රැසක් සමග තරගාවලියට පැමිණි අතර, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින්වූවේ “වැඩිහිටි නිවාසය” ලෙසයි.

ඒ සියලූ චෝදනා පුස්සක් කරමින් ශූරතාවය දිනාගැනීමට අවසානයේ ඔවුන් සමත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button