කොටි පරදවා රාජපක්ෂලා රට බේරා ගනිති!

ක්‍රිකට්‍ පිටියේ ‘ටයිගර්ස්’ අනුවර්ත නාමයෙන් හඳුන්වන බංග්ලාදේශය පරදවා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් විශීෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද(24) සමත් වුණා.

භානුක රාජපක්ෂගේ සහ චරිත් අසලංකගේ පිතිකරණයෙන් සවිමත් වූ ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් ලැබීම විශේෂයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා. එම තීරණය බොහෝ විචාරකයන්ගේ මවිතයට තුඩු දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි.

මෙහිදි බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් මුල් කඩුල්ල සදහා ලකුණු 40ක සබදතාවයක් ගොඩ නැගීමට ලිටන් දාස් හා මොහොමඩ් නයීම් සමත් වුණා.

ලිටන් ලකුණු 16කට දවා ගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර, අනතුරුව සුපුරුදු පරිදි බංගලි – ශ්‍රී ලංකා තරගකාරීත්වය ඉස්මතු වෙමින් ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුක් ද සිදු වනු දක්නට ලැබුණා.

තත්ත්වය පාලනය කිරීමට සෙසු ක්‍රීඩකයන්ට හා විනිසුරුවරුන්ට ද මැදිහත් වීමට සිදු වීම විශේෂත්වයක්.

ශකිබ් අල් හසාන් රැස් කළේ ලකුණු 10ක් පමණි. ඉන්පසුව පිටියට එක්වූ මොහොමඩ් නයීම් හා මුෂ්ෆිකර් රහීම් අතර තෙවැනි වැනි කඩුල්ල සදහා පන්දු 51කින් ලකුණු 73ක සබදතාවයක් ගොඩ නැගීම විශේෂත්වයකි.

නයීම් පන්දු 52කින් ලකුණු 62ක් රැස් කළා. මුශ්ෆිකර් රහීම් පන්දු 37කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි. ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 5ක් ඇතුලත් වුනා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න, ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී පහසුවෙන්ම ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙහිදී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 1කට දැවී ගියේ බංග්ලාදේශයේ බලාපොරොත්තු ඉහළ නංවමින්.

ඉන්පසුව පිටියට පිවිසි චරිත් අසලංක පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් පීඩනය යලිත් බංග්ලාදේශයට යොමු කළා. චරිත් අසලංක හා පැතුම් නිස්සංග දෙවැනි කඩුල්ලට පන්දු 45කින් ලකුණු 69ක සබදතාවයක් ගොඩ නැගුවා. ලකුණු 24කට පැතුම් දැවී ගියා.

අනතුරුව එම පන්දුවාරයේ දී ම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියේ ද පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. වනිදු හසරංග ලකුණු 6කට දැවී ගියා. ඉන්පසුව බංග්ලාදේශයේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නැංවුනා.

ඉන්පසුව පස්වෙනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි භානුක රාජපක්ෂ, චරිත් අසලංක සමග එක්ව වේගවත් ඉනිමක් දියත් කළා. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය පන්දු 52කදී ලකුණු 86ක්.

අද දින උපන් දිනය සමරන භානුක රාජපක්ෂ පන්දු 31කින් වේගවත් ලකුණු 53ක් රැස් කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිමට යෝද හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 49කින් නොදැවී ලකුණු 80යි. ඔහුගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button