අයි.සී.සීයෙන් අසාධාරණයක් – ලබන වසරේත් ශ්‍රී ලංකාව සුපිරි 8ට නෑ, බංග්ලාදේශය සුපිරි 8ට!

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් අට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන T20 තරගාවලියේද සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වී නැහැ. ශ්‍රී ලංකාව යළිත් සුදුසුකම් ලබා ගැනීමේ පළමු වටයට ඇතුලත් කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබේ.

මෙය ඉතාමත් ගැටලුකාරී වන්නේ මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 වටයේදී සියලු තරග පරාජය වූ බංග්ලාදේශ කණ්ඩායම සෘජුවම සුපිරි අට දෙනා වෙත ඇතුලත් කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබීමෙනි.

මෙය සිදු කර තිබෙන්නේ අයි.සී.සී T20 ශ්‍රේණිගත කිරීම් අනුව වූවත් එහිද ගැටලුකාරී තැන් පවතිනවා.

අයි.සී.සී T20 ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. බංග්ලාදේශය 8 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

මෙම කණ්ඩායම් දෙකම ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු ගණන 232ක්.

කෙසේ වෙතත් බංග්ලාදේශය තරග 34ක් තුල ප්‍රසාද ලකුණු 232ක් ලබා ගනිද්දි ශ්‍රී ලංකාව තරග 20ක් තුල ප්‍රසාද ලකුණු 232ක් රැස් කරගෙන සිටීම විශේෂත්වයක්.

එනමුත් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 9 වෙනි ස්ථානයට ඇද දමා බංග්ලාදේශයට අටවෙනි ස්ථානය ලබා දීමට අයි.සී.සීය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇති කණ්ඩායම් වන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාවට අමතරව, කොදෙව්වන්ට, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය ද පළමු වටයේ සිට ආරම්භ කිරීමට සිදු වනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් තේරී පත් වන තවත් කණ්ඩායම් 4ක් ද පළමු වටයට සුදුසුකම් ලබනු ඇති.

එළඹෙන 2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී මෙම ලෝක කුසලානයය පැවැත්වීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button