කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වීමට හේතු වූ ඉන්දීය ක්‍රිකට් අර්බුධය!

පසුගිය දශකය තුල ලොව දක්ෂතම පිතිකරුවා ලෙසින් වැජඹෙන ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි එරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස් වුනා.

දකුණු අප්‍රිකාව සමග තෙවන ටෙස්ට් තරගයෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් කෝලි ඉවත් වූ අතර, ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ ට්විටර් පණිවිඩයක් හරහායි.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ආකෘති තුනෙහිම නායකත්වය හෙඹවූ 33 හැවිරිදි විරාත් කෝලි නිමාවූ T20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව T20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වූ අතර, අනතුරුව දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ වීමට පෙර ඔහුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට සෞරව් ගංගුලි සභාපතිධූරය දරන ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ඉන්පසුව පසුගියදා අවසන් වූ තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත් වී දිනක් ගතව ඇති පසුබිමක ඔහු මෙලෙස ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. විරාත් කෝලී වසර 7ක කාලයක් විරාත් කෝලී ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට පසුගිය සමයේ අසාර්ථක වූ චෙතෙෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානි කණ්ඩායමට නම් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබුනා. ඒ සඳහා විරාත් කෝලී අප්‍රසාදය පළ කර තිබූ බවත් වර්තා වේ.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විරාත් කෝලි ප්‍රකාශ කළේ “ඒ පිළිබඳව මගෙන් අහන්න එපා. ඒක මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තේරීම් කමිටුවේ තීරණයක්”.

විරාත් කෝලි සහ ඉන්දීය තේරීම් කමිටුව අතර දැඩි ඝට්ටනයක් පවතින බව ප්‍රසිද්ධ රහසක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button