ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බිහි වු මැණික – චරිත් අසලංක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැති එක්දින තරගයෙන් කඩුලු පහක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඒ එම ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොස් එක්දින ජාත්‍යන්තර තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරගනිමින්.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 297ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ පන්දුවාර 48.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංකගේ දස්කම් කැපී පෙනුනා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 75ක් රැස් කර දැවී ගිය පසු වරෙක තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈත්වෙමින් තිබුනා. එහිදි පිටියට එක්වූ ජ්‍යේෂ්ඨ දිනේෂ් චන්දිමාල් සමග යොවුන් චරිත් අසලංක ක්‍රමයෙන් ඉනිම ගොඩනැගුවා.

සිය 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 91ක් තුල ලකුණු 75ක් රැස් කළා. ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කරමින් සිය නව වෙනි ජාත්‍යන්තර තරගයේදීම සිව්වෙනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ චරිත් අසලංක ලකුණු පන්දු 68ක් තුල ලකුණු 71ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජය මාවතට කැන්දාගෙන ගියා.

අසලංක සිය ඉනිම ගොඩ නැගුවේ හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ චරිත් අසලංක පාසල් සමයේ සිටම ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ විශිෂ්ඨ නායකයෙකු ලෙසටයි. මෙරට දහනමයෙන් පහළ ජාතික කණ්ඩායමේද නායකත්වය දැරූ ඔහු පිළිබඳව ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් පවා ප්‍රකාශ කරන්නේ අති දක්ෂ නායකයෙකු ලෙසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය දීප්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයා රැකගැනීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button