ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පදක්කමක් අභියස

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා කාන්තා ක්‍රිකට් තරග ඉසව්වක්ද ඇතුලත් කර තිබේ. මෙම තරගාවලියට අපරාජිතව එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ බී කණ්ඩායට ඇතුලත්ව තිබේ.

මෙම ඉසව්ව කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මැලේසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අපරාජිතව සුදුසුකම් ලැබූවා.

මෙම තරගාවලියට එක්ව තිබෙනා සෙසු කණ්ඩායම් හත වන්නේ එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, බාබඩෝස්, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවයි.

මෙම තරගාවලිය පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියක් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයට එක්ව තරග කිරීමේ අවස්ථාව අහිමි වී තිබීම විශේෂත්වයක්. මේ අනුව බාබඩෝස් පමණක් මෙවර තරගාවලියට එක්ව තිබේ.

තරගාවලිය ‘ඒ’ හා ‘බී’ කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සමග බී කාණ්ඩයේ තරග වදිනා සෙසු කණ්ඩායම් වන්නේ එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් වන ඕස්ට්‍රේලියාව, ඉන්දියාව “ඒ” කාණ්ඩයේ තරග වදියි.

පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියේ ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව එක්කර ඇත්තේ දෙවැනි වතාවටයි. මින්පෙර 1998 වසරේදී ක්වාලලාම්පූර්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබුණු අතර ෂෝන් පොලොක්ගේ නායකත්වයෙන් තරග කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගත්තා.

ඒ ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button