Joe Rootගේ සහ Jonny Bairstowගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව එංගලන්තයට ඓතිහාසික ජයග්‍රහණයක්.!

ඉතා විශිෂ්ට හඹායාමක නිරත වූ එංගලන්ත පිතිකරුවෝ ඉන්දියාවට එරෙහිව අද (05) නිමාවූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගනිමින් 2-2 ක් ලෙසින් තරගාවලිය සම කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 378 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හිටපු නායක Joe Root නොදැවී ලකුණු 142ක් රැස් කළ අතර ඊට අනගි සහයක් දුන් Jonny Bairstow නොදැවී ලකුණු 114ක් රැස් කරමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 269 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්ත කණ්ඩායම ඓතිහාසික ජයක් කරා කැඳවාගෙන යාමට සමත් වුනා.

මෙම ශතකය Joe Rootගේ 28 වැනි ටෙස්ට් ශතකය වන අතර Jonny Bairstow ඉනිම් දෙකෙහිදීම ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පසුගිය වසරේ ජූලි මාසයේදී ආරම්භ වූ එංගලන්ත – ඉන්දියා තරගාවලියේ පළමු තරග 4 නිමාවන විට තරග 2-1 ක් ලෙසින් ඉන්දියානුවෝ පෙරමුණ ගෙන සිටි අතර එහෙත් සිව්වැනි තරගය ආරම්භවීමට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් පස්වැනි තරගය වසරකින් කල් දමන ලදි.

ලකුණු 378 ක ඉලක්කයක් කරා යාමට පැමිණි එංගලන්තයට, ඇලෙක්ස් ලීස් (56) සහ සැක් ක්‍රෝලි (46) දෙදෙනාගෙන් ශක්තිමත් ආරම්භයක් ලැබිණ.

මෙම පිතිකරුවෝ දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ලකුණු 02 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටීමෙන් ඉන්දියානුවෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ Joe Root සහ Jonny Bairstow දෙදෙනා තරගය තමන් වෙත හරවා ගත්හ.

Jonny Bairstow ලකුණු 14 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප්හි සිටි ක්‍රීඩකයා වෙතින් ගිළිහී ගියේය. එහි ප්‍රතිඵලය වූයේ එංගලන්ත කණ්ඩායම සිය වසර 145 ක ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම ඉලක්කගත ගමන වාර්තා කිරීමයි.

මීට පෙර එංගලන්තයේ සාර්ථකම හඹායාම වූයේ 2019 දී පැවැති අළු බඳුන තරගයකදී ලකුණු 359 ක ඉලක්කයක් කරා සාර්ථකව යමින් තරගය ජයගැනීමයි.

එංගලන්ත කණ්ඩායම තරගය ජයගත්තේ මුල් ඉනිමේදී ලකුණු 132 ක අවාසියකට මුහුණ දීමෙන් පසුවය. දෙවැනි ඉනිමේදී සිය ආක්‍රමණය නොනවත්වා පවත්වාගත් Joe Root සහ Jonny Bairstow ඉන්දීය පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් පිටිය පුරා සිය අණසක පැතිරවූහ.

ඉන්දියාව පළමු ඉනිම – 416/10

එංගලන්තය පළමු ඉනිම – 284/10

ඉන්දියාව දෙවැනි ඉනිම – 254/10

එංගලන්තය දෙවැනි ඉනිම – 378/3

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button