ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පෑයූ නවතම තරුව – කවුද මේ තනුක දාඹරේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ආරාධිත T20 ලීගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ SLC ග්‍රීන්, SLC රෙඩ්, SLC ග්‍රේයිස් සහ SLC බ්ලූස් කණ්ඩායම් අතරයි.

මෙහිදි SLC ග්‍රීන් සහ SLC ග්‍රේයිස් කණ්ඩායම් අතර තරගය ඊයේ (13) පැවැත්වුනා.

එහිදි අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ග්‍රේයිස් (Greys) කණ්ඩායම, දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් (Greens) කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කළා,

මෙහිදි ග්‍රේයිස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 40කදී ලකුණු 66ක් ලබා ගත් යොවුන් ක්‍රීඩක තනුක දාඹරේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මෙහිදී කාසියේ වාසිය දිනා ගත් ග්‍රීන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ග්‍රේයිස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

ඒ ආරම්භක පිතිකරු තනුක දාඹරේ රැස් කළ ප්‍රවේගකාරී ලකුණු 66න් සවිමත් වෙමින්. පන්දු 40ක් තුල දියත් කෙරූ ඔහුගේ ඉනිම හතරේ පහර අටකින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් වුනා.

පන්දු යැවීමේදී ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් පන්දු වාර හතරක් යවා ලකුණු 10කට කඩුලු දෙකක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන්ස් කණ්ඩායමට පන්දු වාර 15.5ක් අවසානයේ සියලූම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 85ක් පමණයි. දිනේෂ් චන්දිමාල් පන්දු 18කින් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී පුලින තරංග පන්දුවාර 12.5ක් යවා ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙම තරගයේ වීරයා සම්මානය දිනා රසිකයන් අතර කතාබහට ලක්වන තනුක දාඹරේ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබූ ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කළ ඔහු, සැරසන්ස් ක්‍රීඩා සමාජයෙන් පළමු පෙළ වරම් දිනා ගත්තා.

වමතින් පිත්ත හසුරවන 24 හැවිරිදි තනුක දාඹරේ ආරම්භක පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරනවා. මේ වනවිට ACCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටින තනුක දාඹරේ, මේ වසරේ List A පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියාද වනවා.

ඒ ඉනිම 17කින් ලකුණු 480ක් ලබා ගනිමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button