“කරාඹු, පච්චා, අමුතු කොන්ඩා විලාසිතා තහනම් වේවිද ? අලුත් ක්‍රීඩා සභාපති අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාවට විනය ගෙන ඒමට යයි!

ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම එක්දින ලෝක කුසලානය දිනාදුන් නායක අර්ජුන රණතුංග යළිත් මෙරට ක්‍රිකට් සහ සමස්ත ක්‍රීඩාවේම පරිපාලනයට සම්බන්ධ වී තිබේ.

ඒ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අර්ජුන රණතුංග මහතා පත්කිරීමත් සමගය.

ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුව, ක්‍රීඩා ප්‍රතිපත්ති සහ ක්‍රීඩා ප්‍රමිතිය ආදී දෑ නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම උදෙසා ස්ථාපිත කර තිබේ.

මින්පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන අර්ජුන රණතුංග, පසුගිය සමය පුරාම ක්‍රිකට් පරිපාලනය දැඩිව විවේචනය කළේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙසට ඔහුට ක්‍රිකට් පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීමද පැවරේ.

මේ අතර ක්‍රීඩා සභාවේ සභාපතිධූරය ලබා ගැනීමෙන් පසු මාධ්‍ය ඇමතු අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ ක්‍රිකට් පරිපාලනයේ වංචා දූෂණ වලට එරෙහිව තමන් කටයුතු කරන බවයි.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විනය තහවුරු කිරීම කළ යුතු බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා.

මේ සමගම ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරාඹු, පච්චා සහ විවිධ කොන්ඩා විලාසිතා ආදියද තහනම් විය හැකිදැයි සමාජජාලා මාධ්‍යවල ක්‍රිකට් රසිකයන් අතර කතාබහක් ඇතිව තිබේ.

අර්ජුන රණතුංග ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ සමයේ ක්‍රීඩකයන්ගේ විනය දැඩිව අපේක්ෂා කළ අතර ඔවුන්ට විවිධ කොන්ඩා විලාසිතා ආදියට ඉඩ ලැබුනේ නැහැ. ඒ හේතුවෙන්ම එක් ප්‍රසිද්ධ වේග පන්දු යවන්නෙක් සහ අර්ජුන රණතුංග අතර මත ගැටුමක්ද හට ගත්තා.

කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස එවන් විනය ප්‍රමිතියක් යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට නිර්දේශ කරනවාද යන්න පිළිබඳව තවමත් අර්ජුන රණතුංග නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button