ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයකින් වනිඳු හසරංගට රුපියල් කෝටි හතරක් අහිමි වෙලා!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසරයක් ලබා නොදීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක් (£100 000) එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ.

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන “ද හන්ඩ්‍රඩ්” තරගාවලිය උදෙසා මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා ලෙසට වනිඳු හසරංග තෝරා ගෙන තිබුනා.

ඒ සඳහා වනිඳුට ගිවිසුම්ගත ක්‍රීඩකයෙකුට ලබා දෙන ඉහළම මුදල වන බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුනා. එය ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 430කට අධික මුදලක්.

කෙසේ වෙතත් විදෙස් ප්‍රීමියර් ලීගයකට සහභාගී වන ක්‍රීඩකයෙකු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතුයි.

එම අවසරය වනිඳුගේ කළමණාකරු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලුම් කර තිබූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම අවසරය ලබා දීම පැහැර හැර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ එළඹෙන ආසියානු කුසලානය උදෙසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මානසිකව සහ ශාරීරිකව සුදානමින් සිටිය යුතු නිසා වනිඳුගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

වනිඳු හසරංග නොමැතිව ක්‍රීඩා කරන මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම මේ වනවිට තමන් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත්වීම විශේෂත්වයක්.

ආසියානු කුසලානය මේ මස (අගෝස්තු) 27 වනදා එක්සත් අරාබී ඒමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button