වැටුප් ගෙවීමටත් මුදල් නොමැති කාලයේ සිට වෙනත් ක්‍රීඩා පවා ගොඩ දැමීම දක්වා – තිලංග, ශම්මි යුවළ ක්‍රිකට් ගොඩ දැමූ හැටි!

ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ලබා දුන්නේය. ඒ එම රෝහලට අවශ්‍ය ඖෂධ ගෙන්වීමටය.

ඉන් එහා ගොස් ආසියානු කුසලානය දිනූ නෙට්බෝල් කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් ලක්ෂ 20 බැගින් ත්‍යාග මුදලක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන්නේය.

කලක සිට මෙරට මලල ක්‍රීඩාවේත් බොහෝ වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු දුටුවේය.

වැරදි වලදි විවේචනය කරනවා සේම හොදකදි අගය කිරීමත් බොහෝ දෙනෙක් නොකරන, නමුත් කළ යුතුම දෙයකි.

මේ මීට වසර කිහිපයකට පෙර අයි.සී.සීයෙන් ලබා ගත් ණය වලින් රෝලක් ගසා දිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයමය.

අද වෙනත් ක්‍රීඩා නඩත්තු කිරීමට තරම් ආර්ථිකමය වශයෙන් සවිමත් වී තිබේ. මේ වෙනස ඇති වූයේ හිටපු සභාපති තිලංග සුමතිපාලගෙන් බව කීම බොරුවක් නොවේ.

කුමන චෝදනා තිබුනත් තිලංග දක්ෂ මූල්‍ය පරිපාලකයෙකි. ඔහුගේ ව්‍යාපාර අත්දැකීම්ද එයට හේතුවක් වන්නට ඇත.

ඔවුන් නැවතත් LPL තරගාවලිය ආරම්භ කළේය. ටී.වී අයිතීන් විකිණීමේදී ලාභ ලැබුවේය.

කෙසේ වෙතත් බංකොලොත්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩ දැමීම ඉතා හොද දෙයකි.

එලෙසෙම සවිමත් ආර්ථිකය නිසාම දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ඉහළ වැටුප් ගෙවා ලෝකයේ හොදම පුහුණුකරුවන් ලබා ගැනීමේ හැකියාව ලැබි තිබේ. එයත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවැරදිව ගත් තින්දුවකි.

ආසියානු කුසලානයේ දස්කම් දැක්වූ ඩිල්ෂාන් මදුෂංක වැනි ක්‍රීඩකයන් හමුවුයේ ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කළ තරගාවලි හේතුවෙනි. එයටත් ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

මේ වනවිට පවත්වා ගෙන යන ශාරීරීක යෝග්‍යතා ආදි පුහුණු හඳුන්වාදීමේත් ක්‍රිකට් පරිපාලනය දැඩි තීන්දු ගත්තේය. අද ලබන ජයග්‍රහණ වලට එම දැඩි තීන්දුත් හේතුවකි.

වැරදේදී විවේචනය කරන ලෙසටම නිවැරදි දේ අගය කිරීමත් අප කළ යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ලබා ගත් තීරණ සහ ක්‍රියාවන් අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවර වීමට හේතු වූ බව බිය නොමැතිවම කිව යුතුය. එහි ගෞරවයෙන් කොටසක් හිටපු සහ වත්මන් සභාපතිවරුන්ට අනිවාර්යෙන්ම හිමිවිය යුතුය.

එමෙන්ම ක්‍රිකට් මූල්‍ය පරිපාලනයත් වඩා පාරදෘෂ්‍ය භාවයකින් සිදු කර, තව තවත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම පාලනාධිකාරියේ වගකීමය.

– ක්‍රිකට් ග්ලෝරි ප්‍රධාන සංස්කාරක –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button