ඉන්දියාවෙන් T20 ක්‍රීඩාවට අලුත් නීතියක් – දැවී ගිය ක්‍රීඩකයෙක් වෙනුවට තවත් පිතිකරුවෙකුට අවස්තාව!

T20 ක්‍රිකට් ආකෘතිය මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියම ආකෘතිය වී අවසන්. ඒ T20 ක්‍රිකට් ආකෘතියේ පාලනය හිමිව ඇත්තේ ඉන්දියාවට යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ඔවුන් සතු තීරක බලය හේතුවෙන් T20 ක්‍රිකට් ආකෘතියේ පාලනය බොහෝ දුරට ඔවුන්ට හිමිව තිබේ.

රසික ආකර්ෂනය උදෙසා දිනෙන් දින වෙනස් කරන T20 ක්‍රීඩාවට තවත් නව නීතියක් හඳුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ අනුව එළඹෙන ඉන්දීය දේශීය T20 තරගාවලියේ සිට ආදේශක ක්‍රීඩකයින් යොදා ගැනීමේ නව ක්‍රමවේදයක් ඔවුන් හඳුන්වා දී තිබේ.

‘Impact Player’ යන නමින් හදුන්වා දී ඇති මෙම නීතිය අනුව තරගයක් අතරමැදදී වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට උපායමාර්ගිකව ආදේශ කිරීමට හැකියි.

ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වීමට නියමිත Syed Mushtaq Ali කුසලාන තරගාවලියේ දී මෙම ක්‍රමවේදය ඔවුන් අත්හදා බලන අතර ඉන්පසුව 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහාද මෙම ක්‍රමවේදය හදුන්වා ඉන්දියාව සුදානමින් පසුවෙනවා.

මෙම නව ක්‍රමවේදයේ දී සිදු වන්නේ එක් කණ්ඩායමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරින් එක් ක්‍රීඩකයෙකු තරගයක් අතරතුරදී තරගයට ක්‍රීඩා නොකරන වෙනත් ක්‍රීඩකයෙකු සමග ආදේශ කිරීමට අවස්ථාව ලබා දීමයි.

තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී කණ්ඩායම් දෙක විසින් සිය ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් අවසන් කණ්ඩායම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ලැයිස්තුවට ඇතුළත් කළ යුතුයි.

තරගය මැදදී ඉන් එක් ක්‍රීඩකයෙකු, අවසන් 11 දෙනාගේ කණ්ඩායමේ එක් අයෙකු සමග ආදේශ කිරීමේ අවස්ථාව මෙහිදී හිමි වනවා.

ඉනිමක 14 වැනි පන්දුවාරය අවසන් වීමට පෙර මෙම ආදේශ කිරීම සිදු කළ යුතුයි. පිතිකරණයේ නිරත වීම මෙන්ම පන්දු යැවීමේ අවස්ථාව ද මෙම ආදේශක ක්‍රීඩකයාට හිමි වනවා.

මෙම නව ක්‍රමවේදයේ දී පිතිකරණයේ නිරත වන කණ්ඩායමට සිය කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවෙකු වුවද අතිරේක ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයෙකු සමග ආදේශ කිරීමට හැකි වන අතර, එම ආදේශක ක්‍රීඩකයාටද පිතිකරණයේ නිරත වීමට අවසර හිමි වීම විශේෂත්වයක්.

ඒ අනුව දැවී ගිය පිතිකරුවෙක් වෙනුවට තවත් පිතිකරුවෙකුට පිතිකරණයේ නිරත වීමේ අවස්තාව හිමි වෙනවා. ඒ වෙනුවට නොම්මර 11 ක්‍රීඩකයාට පිතිකරණයේ නිරත නොවී සිටිය හැකියි.

තවද කණ්ඩායමක් පන්දු රකිමින් සිටියදී පන්දුවාර කිහිපයක් යොමු කළ පන්දු යවන්නෙකු වෙනුවට වෙනත් පන්දු යවන්නෙකු ආදේශ කළ හැකි අතර, එම ආදේශක ක්‍රීඩකයාටත් සිය පන්දුවාර හතරම වුවද යොමු කිරීමට අවසර හිමි වනවා.

මෙම ක්‍රීඩක ආදේශ කිරීම පන්දුවාරයක් අවසානයේ දී සිදු කළ හැකියි.

පිතිකරණ කණ්ඩායමට පිතිකරුවෙකු දැවී ගිය අවස්ථාවේ දී මෙම ආදේශ කිරීම සිදු කළ හැකි අතර, පන්දු රකින කණ්ඩායමට පන්දු රකින්නෙකු ආබාධයකට ලක් වූ අවස්ථාවකදී මෙම ආදේශ කිරීම සිදු කළ හැකියි.

ඉනිමක් අවසානයේදීත් ක්‍රීඩක ආදේශ කිරීම සිදු කළ හැකිවනවා.

ආදේශ කිරීමට ලක් වූ, පළමුව නම් කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්ව සිටි ක්‍රීඩකයාට අදාළ ආදේශ කිරීම සිදු කිරීමෙන් පසුව යළි ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමි වන්නේ නැහැ.

මෙම නව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ඊ මේල් පණිවිඩයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත මේ වන විට යොමු කර තිබෙනවා.

මින් පෙර මීට පෙර 2005 හා 2006 වසරවලදී මීට තරමක් සමාන ක්‍රමවේදයක් ‘සුපර් සබ්’ නමින් එක්දින ජාත්‍යන්තර තරගවලදී යොදා ගත්තා.

මෙම නව නීතිය පාපන්දු ක්‍රීඩාවේ නීති ආදර්ශයට ගෙන සකස් කර ඇති බවත් වාර්තා වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button