ලෝක කුසලානයට පෙර අයි.සී.සීය යළිත් ක්‍රිකට් නීති වෙනස් කරයි – වෙනස් වූ නීති මෙන්න!

T20 ලෝක කුසලානය ආරම්භ වීමට තිබියදී එළඹෙන ඔක්තෝම්බර් පලමුවෙනිදා සිට ක්‍රිකට් නීති වෙනස් වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් පැවැත්වෙන්නේ මෙම නව නීති යටතේයි.

මෙහිදි අලුත් වන එක් නීතියක් වන්නේ පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවකදී එම පන්දුවාරය අවසන් නොවේ නම් නව පිතිකරුවා ඊළඟ පන්දුව සඳහා පහරදීමය.

මින් පෙර එම නීතිය පැවතියේ උඩපන්දුවක් ලබාදී පිතිකරු දැවී යන අවස්ථාවේදී උඩපන්දුව රැකගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැතිමාරු කරගැනීමේදී එකිනෙකා පසුකර ඇත්නම් නව පිතිකරු වෙනුවට අනෙක් අන්තයේ සිටි පිතිකරු පන්දුවට පහරදීම සිදුකළයුතු බවටයි.

මේ අතර පන්දු යවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතීරුවෙන් ඉවතට යන අවස්ථාවක එය නිපන්දුවක් ලෙස නම් කිරීමටත් නව නීති තුළින් කටයුතු කර තිබේ.

එමෙන්ම පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර පිතිකරු දුවද්දී දවාගැනීමට හසුකරගැනීම සඳහා ඔහු දෙසට පන්දුව දමා ගැසීමක් සිදුකළහොත් එම අවස්ථාව අජීවී පන්දුවක් ලෙස නම්කරනු ඇත. මින්පෙර එය හැදින්වූයේ නිපන්දුවක් ලෙසටයි.

මේ අතර මන්කාඩ් ක්‍රමයට දවාගැනීම මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට නොසුදුසු දවා ගැනීමක් ලෙසට හැඳින්වූ අතර අතර එය නව නීතියට අනුව සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල, ජීව ගුණයට අනුකූල දුවද්දී දවාගැනීමක් ලෙස හඳුන්වා ඇත.

එසේම පන්දු යවන්නෙකු පන්දු යැවීමට දිව යන අවස්ථාවේදී එම කණ්ඩායමේ පන්දු රකින ක්‍රීඩකයෙකු පිටියේ ස්ථාන මාරු කරමින් චලනයක් සිදුකරයි නම් ඊට අදාළ පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කිරීමට නව නීති ඔස්සේ බලය පැවරීමක් සිදුකර තිබේ.

ඊට අමතරව එවැනි ක්‍රියාවක් සිදුකරන අවස්ථාවකදී පිතිකරණයේ නිරතවන කණ්ඩායමට අතිරේක ලකුණු 5ක් ලබාදීමටත් පියවර ගෙන තිබේ

තරගයක් තුළ ක‍්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක‍්‍රීඩකයා හට අනෙක් ක‍්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වන අයුරින් නීති වෙනස් කර තිබේ.

එසේම නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර තිබේ.

එක්දින සහ ටෙස්ට් පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී තිබූ කාලය මිනිත්තු දෙකක් දක්වා අඩු කර තිබේ.

එසේ නොවන අවස්ථාවන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට අදාළ පිතිකරුට එරෙහිව කල් ඉකුත්වීමේ අභියාචනය විනිසුරු වෙත ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

මීට පෙර එම කාලය මිනිත්තු තුනක් ලෙස පැවතිණි.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගවලදී පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී ඇති තත්පර 90ක කාලය වෙනස්කර නැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button