“සනත් තමයි අපේ රටේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එක, සනත් තමයි අපිට ක්‍රිකට් පිස්සුව හැදුවේ” සනත් ජයසූරිය ගැන චතුරංග ද සිල්වා කියූ සංවේදි කතාව!

සනත් ජයසූරිය යනු මෙරට ක්‍රිකට් වංශ කතාවේ බිහි වූ පුරාවෘත්තයක්.

මෙරට ක්‍රිකට් උන්මාදයක් ඇති කිරීමට හේතුව වූ සනත්, නිමාවූ ලෙජන්ඩ්ස් තරගාවලියේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

මෙහිදි සනත් ජයසූරිය පිළිබඳව ක්‍රිකට් රසිකයෙකු තැබූ සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

එම සටහන සනත් සමග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චතුරංග ද සිල්වා විසින්ද සිය නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුනා.

එම සටහන පහතින්,

අපි ක්‍රිකට් ලේ වලට ම බද්ධ වෙච්ච ජාතියක්.

ක්‍රිකට් හුස්ම ගන්න, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවත් වෙන රටක්.

ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවෙන් ලෝකය ජය ගත් ක්‍රිකට් ක්‍රීඩකයො ඕනෑ තරම් බිහි වෙලා තියෙනවා.

ජාත්‍යන්තරයේ ගෞරවය දිනපු ක්‍රීඩකයො, ලෝක වාර්තා තියපු ක්‍රීඩකයො, ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයො බොහෝමයක් අපේ රටෙන් බිහි වෙලා තියෙනවා.

අපි ලෝක කුසලාන දිනපු ජාතියක්. ආසියානු කුසලාන දිනපු ජාතියක්. පුරුද්දකට වගේ ලෝක කුසලාන අවසන් මහා තරග ක්‍රීඩා කරපු ජාතියක්. ලොව විශිෂ්ඨතම ක්‍රිකට් ජාතියක්.

හැබැයි ශ්‍රී ලංකාවේ අපිට මේ ක්‍රිකට් උන්මාදය එන්නත් කළේ එක් හුදෙකලා ක්‍රීඩකයෙක්.

ක්‍රිකට් තරගයක් දවසට කඩවල් වැහෙන, මිනිස්සු එකතු වෙන, සාද සංවිධානය වෙන, රට ම කානිවල් එකක් වෙන සංස්කෘතිය ඇති කළේ තනි ක්‍රීඩකයෙක්.

ඒ සනත් ටෙරාන් ජයසූරිය.

අයෝමය දෑතක් තිබූ සනත් ජයසූරිය.

එවකට ක්‍රිකට් ක්‍රීඩාවේ පැවතුනු රිද්මය වෙනස් කරලා, අද පවතින ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වෙනස් වෙන්න අඩිතාලම දැමු ක්‍රීඩකයා. සනත් ටෙරාන් ජයසූරිය..

ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩාවක්. නමුත් ශ්‍රී ලංකාවේ මිනිස්සු සනත් සමුගන්න තුරුම ක්‍රිකට් බැලුවේ සනත් ජයසූරිය සෙල්ලම් කරනවා බලන්න විතරයි.

සනත් ජයසූරිය අවුට් වුණා ම රූපවාහිනි වැහෙන සංස්කෘතියක් අපේ රටේ තිබුනා.

අපේ මිනිස්සු සනත් අවුට් වුණා ම රූපවාහිනිය වහලා, තරගයේ ප්‍රතිඵල නිවුස්වලින් බැලුවා.

ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑමක් කරන්න සචින් ටෙන්ඩුල්කාර්ටවත් නොහැකි වෙන්න ඇති.

බ්‍රයන් ලාරාට වඩා එක්දින ලකුණුත් අරන්, ශේන් වෝර්න්ට වඩා කඩුලුත් ගත්තු ක්‍රීඩකයා සනත් ජයසූරිය.

ඔහු ලෝකයේ සෑම පන්දු යවන්නෙක් ම බියට පත් කළ අති දක්ෂ පිතිකරුවෙක්.

ඕනෑම මොහොතක කඩුල්ලක් බිඳ දැමිය හැකි දක්ෂ පන්දු යවන්නෙක්.

පන්දුවක් මඟනොහැරෙන වේගවත්, අති දක්ෂ පන්දු රකින්නෙක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්ව වාර්තා තියපු අති දක්ෂ නායකයෙක්.

ක්‍රිකට්වලට ඒ තරම් බද්ධ වුණු, ක්‍රිකට් ඒ තරම් ඇඟේ තියෙන ක්‍රීඩකයො ලොකයේ ම අඩුයි.

ලෙජන්ඩ්ස් තරගාවලිය නිසා නැවතත් සනත් ක්‍රීඩා පිටියේ දැකගන්න අපිට ඉඩක් ලැබිලා.

සනත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ කණ්ඩායමක් හදනවා නම්, ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන්න සනත්ට වඩා සුදුස්සෙක් ඇත්තෙත් නැහැ.

සනත්ට දැන් වයස අවුරුදු 53යි. ඔහුට දණහිසේ ශල්‍ය කර්මයකුත් කරලා. හැබැයි ලණුව ඇතුළෙ දී අපි දකින්නේ අපිට පුරුදු පරණ සනත්මයි.

තවමත් සනත්ගේ ෆ්ලික් එහෙමමයි. සනත්ගේ පිත්තේ වදින වේග පන්දු යවන්නන්ගේ පන්දු, එවන වේගයට වඩා වේගයකින් හැරිලා යනවා.

ලකුණුත් ගහලා, පන්දුත් යවලා කඩුලුත් බිඳ දමනවා.

මේ අපේ ළමා කාලයේ ඉස්කෝලෙන් කට්ටි පැනලා, ක්ලාස් කට් කරලා ක්‍රිකට් මැච් බලන්න පුරුදු කරපු අපේ වීරයා..

මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන්මාදයක් ඇති කරපු ක්‍රීඩකයා.

මේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව සදහට ම වෙනස් කරපු පුරාවෘත්තය.

උපුටා ගැනීම : Ireshan Siriwardhana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button