ශ්‍රී ලංකාව මංගල 20-20 ජයග්‍රහණය ලබා පහලොස් වසරකි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය මංගල 20-20 තරඟයට සහභාගී වී ජයග්‍රහණය කොට අදට 15 වසරකි.ඒ එංගලන්තයට එරෙහිවයි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල මුල්ම T20 තරඟය මෙන්ම මුල්ම තරඟාවලි ජයග්‍රහණයද එයමය. මේ එම තරඟයේ මතකයයි.

“3rd four in row, Batsman batting and the end or crucial Sri Lankan left it to their bowlers. England have decided their main number one batsman in one day cricket Marcus Trescothic got to be there at the end.” විස්තර විචාරයේ සිටි නසීර් හුසේන් ඉතා උජාරුවෙන් පැවසීය.

දිනය 2006 වසරේ ජුනි මස 15 වනදාය.
එනම් වසර 15කට පෙර අද වැනි දිනකය, ශ්‍රී ලංකාවත් එංගලන්තයත් සවුත්ම්ටන්හි රෝස් බෝව්ල් පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ මංගල T20 ක්‍රිකට් තරඟ අත්දැකීම වෙනුවෙනි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පලමුව පන්දුවට පහරදීම තෝරාගන්නේ නුහුරු අත්දැකීමක් විදගැනීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරණ යුගලය ලෙස පිටියට පිවිසෙන්නේ තරඟය නුහුරු වුවත් රටාව ලොවටත් කලින් අතික්‍රමණය කල මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය සමඟ උපුල් තරංගය, එතැන් පටන් ගිණිකෙලියක් බදු වූ ප්‍රහාරය පිටිය සිසාරා ආරම්භ විය. වරක පන්දුවාර 7.4 ක් අවසන් වන විට ලකුනු පුවරුව 74-0 ලෙස දැක්වෙන්නේ ඉහල ලකුණු සංඛාවක ඉගි පල කරමිනි, නමුත් ලකුනු 35ක් ලබා සිටි උපුල් තරංග පෝල් කොලින්වුඩ් හමුවේ දැවී යන්නේ එම මොහොතේදීය..

බොහෝ බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසෙන නායක මහේල ජයවර්ධන එක් පන්දුවකට මුහුන දීමෙන් පසු දුවද්දී දවාගැනීමකට හසු කර ගැනීමට ඉයන් බෙල් සමත් විය.

ඊලග පන්දුවාරයේදී පන්දු 29කින් ලකුණු 41ක් ලබා පෝල් කොලින්වුඩ්ගේ යෝකරයකට හසුවු ජයසූරිය කඩුල්ල මුවාකර දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 10 කදී කඩුළු 3කට ලකුනු 84ක් කියවුණි.

සංගා කෙමෙන් කෙමෙන් ස්ථාවර වන අතර ඊලග පන්දුවාර දෙක තුල ඩිල්ශාන් සහ රසල් ආනල්ඩ් දැවී ගියේ තව තවත් අවුලකට පත් කරමින්‍ ය.

ලකුණු 21ක් ලබා සිටි සංගා පෝල් කොලිවුඩ්ගේ සිව්වන කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 6කට ලකුනු 117ක් කියවුණි.

චාමර කපුගෙදර ලැබූ ලකුනු 22ත් සමඟ පසුව බිදවැටීම් හමුවේ කෙමින් කෙමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා ලකුණු පුවරුව අවසානයේ පන්දුවාර 20 අවසානයේ 163ක් ලෙස දිස් විය.

පහසු නමුත් අවධානම් ලකුණු 164ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්තය ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඇන්ඩෘ ස්ට්‍රෝස් සහ මාර්ක් ට්‍රෙස්කොතික් පිටිය පුරාවට පන්දුව යොමු කරමින් තරංග සහ ජයසූරියට නොදෙවනි ආරම්භයක් එක් කලේ පන්දුවාර 7කික් ලකුනු 57ක් ලෙසය.

එංගලන්තය ලකුනු පුවරුවට ලකුනු 59ක් එක්වන විට ලකුණු 33ක් ලබා සිටි ඇන්ඩෘ ස්ට්‍රොස් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් ඉතිහාසයේ මංගල කඩුල්ලේ ගෞරවය දිල්හාර ප්‍රනාන්දුට ලබා දෙමිනි.

පිටිය සිසාරා දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිටි කෙවින් පීටර්සන් ලකුනු 17ක් ලබා ලසිත් මාලිංග රැකගත් අති විශිෂ්ඨ උඩ පන්දුවක් මත ජයසූරිය හමුවේ දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව පන්දුවාර 12කට ලකුණු 88ක් ලෙස කියවිනි.

එතැන් පටන් මාක්ස් ට්‍රෙස්කොතික් ප්‍රහාරය දැඩි කරද්දී පෝල් කොලින්වුඩ් දැවී ගියේ දිල්ශාන්ගේ පන්දුවකට මහේල ජයවර්ධන ලබා ගත් දක්ෂ උඩපන්දුවක් හමුවේය.

ලකුනු 108-3කි . පන්දු 33කින් ජයග්‍රහණයට ලකුණු 56ක් අවශ්‍යය.

ලකුණු පුවරුවට තවත් ලකුණු 6ක් එක්වන විට ජෙමී ඩාරිම්ප්ල් සංගක්කාරගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ එක් ලකුණකට දැවීයන්නේ
ජයසූරියගේ පන්දුවකටය.

114-4කි. පන්දුවාර 4කින් ලකුණු 44ක් අවශ්‍ය මොහොතක ට්‍රෙස්කොතික් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන්නේ පන්දු 48කිනි.

එතැන් පටන් තරඟයේ පාලනය සියතට ගත් මාට්ක් ට්‍රෙස්කොතික් ලසිත් මාලිංගගේ 18 වන පන්දුවාරය අවසන් කරන්නේ පිට පිට හතරේ පහර 03ක් සහිතව ලකුණු පුවරුව 145ක් දක්වා ගෙන යමිනි.

මහේලගෙන් ජයසූරියට කැදවීමකි.
“කොහොම හරි ඩොට් බෝල් ටිකක් දාගන්න බලමු අයියේ”

පන්දු 12කින් ලකුණු 19ක් අවශ්‍යය.
පලමු පන්දුවට ලකුනු දෙකකි. ඊලග පන්දුවට හතරේ පහරක් ගැසූ ග්‍රේන්ට් ජෝන්ස් පන්දු 57කින් ලකුනු 72ක් ලබා සිටි ට්‍රෙස්කොතික්ට පිතිකරණ අන්තය භාර කලේය.

පන්දු 9කින් ලකුනු 12කි.

මෙතෙක් වෙලා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවාසනාව උදා කරමි සිටි ට්‍රෙස්කොතික්ගේ අවාසනාවට ස්වීප් පහර වැරදී පන්දුව පා ආවරනයේ වැදී මග හැරී ගියේ ශ්‍රී ලංකාවේ වාසනාවටය..

කිසිවක් සිතා ගත නොහැකි වූ ට්‍රෙස්කොතික් සීමාවට අඩි කිහිපයක් ඉදිරියට පැන සිටියදී අඩි දෙකක් ඉදිරියට පැන පන්දුව නවතා ගත් සංගා කෙලින්ම කඩුල්ල වෙත එල්ල කලේ තරඟයම කණපිට පෙරලන කඩුල්ල දවා ගනිමිනි.

ඊලග පන්දු දෙකටම ජයසූරිය ගෙන් ලකුණු තුනකි.

අවසාන පන්දුවාරයට ලකුණු 9ක් අවශ්‍යය ග්‍රේරේන්ට් ජෝන්ස් සහ ටිම් බ්‍රෙන්සන් සූදානමිනි..

මහේලගෙන් ඩිල්හාර ප්‍රනාන්දුට කැදවීමකි.

“නැති වෙන්න දෙයක් නෑ. පුළුවන් තරම් හයියෙන් දාපන්.”

ඩිල්හාර කියූදේ අකුරටම කලේය. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දක්ශ පන්දු රැකීම මැද ඊලග පන්දු 4ටම ලකුනු 3කි.

පස්වන පන්දුව පා ආවරනයේ වදින්නේ ජෝන්ස්ට පිත්ත රැගෙන ඒමටවත් කාලයක් ඉතිරි නොකරමිනි.

අවසානයේ පන්දු 9ට ලකුණු 11ක් තිබූ ඉනිම
අවසන් පන්දුවට ලකුණු 5ක් ලෙස දැක් වුනි.

පිත්තේ දාරයේ වැදී ඉහල නැගි ඩිල්හාර ප්‍රනාන්දුගේ පන්දුව සංගක්කාරගේ හිසට ඉහලින් පියබා ගොස් හතරේ සීමාවට අඩි කිහිපයක් මෙපිටින් පතිත වූ වහාම සංගා එය රැක ගත්තේ, පිතිකරුවන් දෙදෙනා ලකුණු දෙකකට පැති මාරු කරගන්නා අතරේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 02 කින් තියුනු ලෙස අවසානයේදී ජයග්‍රහණය කිරීමට සමත් විය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ජයසූරිය තරඟයේ වීරයාය.

මෙහි විශේෂතම සිදුවීම නම් එවකට ශ්‍රී ලංකාව සතුවූ ප්‍රභලතම තුරුම්පු දෙක වන වාස් හා මුරලි නොමැතිව මෙම ජයග්‍රහණය ලැබීමය.

මුහුණ දුන් පලමු අන්තර්ජාතික 20-20 තරඟයෙන්ම ලොව ක්‍රිකට් පිටියේ පෙරළි කරන්නට උපන් හපන් ජාතිය අප බව යළිත් වරක් ලොවටම සනාත කර තිබිනි. පසුව සිදුවූ සියල්ල ඉතිහාසගතය..

✍️Vimuwa

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button