දකුණේ ග්ලැඩියේටර්ස්ලාගෙන් තෙවෙනි වරටත් උතුරට මල්ටි බැරල් ප්‍රහාරයක් – දකුණ යළිත් අවසන් මහා තරගයට!

පැවැත්වූ ලංකා ප්‍රීමීයර් ලීග් අදියර දෙකෙහිම අවසන් මහා තරගයන්ගේ ස්ථාන වෙන් කරගැනීමට දකුණු පළාත නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වී සිටිනා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ උතුරු පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටිනා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජය කරමින් පහසු ජයක් ලැබීමත් සමගයි.

එය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට පිටම පරාජයට පත් වූ තෙවැනි අවස්ථාව වීමත් විශේෂත්වයක්.

කාසියේ වාසිය පරාජය වී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

එහිදි ආරම්භක කඩුල්ල සදහා ලකුණු 121ක සබදතාවයක් පිහිටුවීමට කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, එය මෙවර තරග වාරයේ දී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ හොදම සබදතාවයද වූවා.

එමෙන්ම එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු හොදම සබදතාවය වන්නේත් එයයි. තවද එල්.පී.එල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ දෙවන හොදම සබදතාවය ලෙස ද එය වාර්තා අතරට එක් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් පන්දු 53කින් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්. මෙවර තරග වාරයේ දී ලකුණු 288ක් ලබා ගෙන ඇති ඔහු, මෙම ඉනිමත් සමග තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමටත් සමත් වුනා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කළ අතර, නායක භානුක රාජපක්ෂ පන්දු 15කින් ලකුණු 25ක් ලබා ගත්තේ හයේ පහර 3ක්ද සමගින්.

පන්දු යැවීමේ දී වහබ් රියාස් හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 59ක් හා වනිදු හසරංග ලකුණු 29ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

එය මෙවර තරග වාරයේ පන්දු යවන්නෙකු වාර්තා කළ දෙවන හොදම පන්දු යැවීමයි.

මෙම තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අගහරුවාදා(21) දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button