ලංකාවෙ ක්‍රිකට් වැටිලා තියන තත්වය ගැන මට හරිම දුකයි. – තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වර්තමානයේ උදා වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා පවසනවා.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වර්තමානයේදී කිසිදු ජාතික සැළැස්මක් නොමැති බවත්, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී ඇති බවත් සුමතිපාල මහතා පවසනවා.

තමා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වී කටයුතු කළ කාලසීමාවලදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සැළසුම් සකස් කර ඒවා නිවැරදිව ක්‍රියාත්මක කළ බවයි සුමතිපාල මහතා පවසන්නේ. 1995 දී, 1998 දී, 2003 දී මෙන්ම අවසන් වරට 2016 වසරේදී තමාගේ මැදිහත්වීමෙන් ජාතික සැළසුම් සකස් කළ බවත්, කෙසේ නමුත් විවිධ ඇමතිවරුන් විසින් අතුරු පාලන කමිටු පත් කිරීම හරහා එම ජාතික සැළසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් පෙන්වා දෙන ඔහු,

නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 16 ක් ලබා ගන්නා තත්වයට නිර්මාණය කළේ තමා විසින් ආරම්භ කළ ‘පාත් වේ’ ජාතික සැළසුම හරහා බවත් පාසල් මට්ටමේ සිටම ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ජාතික මට්ටම දක්වා ඔවුන් ගෙනඒමට තමාගේ වැඩපිළිවෙලට හැකි වූ බවත් youtube නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කලා.

චන්දික හතුරුසිංහ මහතා සහ අසංක ගුරුසිංහ මහතා මෙරටට රැගෙනවිත් වසර කිහිපයක දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආරම්භ කළ නමුත් එවක ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම් හේතුවෙන් එම වැඩපිළිවෙල කඩාකප්පල් වූ බව පෙන්වා දෙන සුමතිපාල මහතා පවසන්නේ,දේශපාලන ඇගිලි ගැසීම් නිසා එදා එතැන් පටන් කඩා වැටීම ඇරඹුනු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම අගාධයට ගිය බවයි.

වත්මන් නව තේරීම් කමිටුවේ සැළසුම් රහිත තීරණ හේතුවෙන් ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන්ගේ වෛරයට පාත්‍ර වී ඇති බවද ඔහු පවසනවා. මේ නිසා ක්‍රීඩකයන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩකයන් විවේචනය කරන තත්වයට, ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවද තිලංග සුමතිපාල මහතා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button