ක්‍රිකට් උපන් දේශයට ක්‍රිකට් ඉගැන්වූ අයිරිශ් කොළු ගැටයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි.

ඉතිහාසය වෙනස් කරමින් 2011 ලෝක කුසලානයේදී
එදාමෙදාතුර ලෝක කුසලානයක ක්‍රීඩයෙක් ලැබූ වේගවත්ම ශතකයද ලබා ලකුණු 328ක දැවන්ත ඉලක්කයක් කරා අයර්ලන්තය මෙහෙයවමින් පෙරලිකාර ජයග්‍රහණයකට මඟ පෑදූ තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕ බ්‍රයන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර  තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා ලද්දේ තරග 252කදී ලකුණු 5801ක්, කඩුලු 172ක් සහ උඩපන්දු 102ක එකතුවක් සහිතවයි. එයට එක්දින තරඟ 153ක් ටෙස්ට් තරඟ 03ක් සහ විස්සයි විස්ස තරඟ 96ක් ඇතුලත්.

අයර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර 20-20 තරඟයක පලමු පන්දුවාර 6 එනම් ප්වර් ප්ලේ අවස්ථාවක තුල ගත් වැඩිම ලකුණු සංඛාව වන ලකුණු 93ක් බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලබා තැබූ ලෝක වාර්තාවටත් පෝල් ස්ටර්ලින් සමඟ කෙවින් ඕ බ්‍රයන් සමව හිමි කම් කියනු ලබනවා.

මේ ඔහු විසින් ගිනිකෙලියක් කල 2011 එංගලන්තයට එරෙහි තරඟයේ මතකයයි.

දිනය 2011 මාර්තු 2 වනදාය..
වේලාව පස්වරු 8ට පමණ වන්නට ඇත..

ලොව බොහෝ පිරිස් සාමකාමී රැයකට සූදානම් වෙමින් සිටි නමුදු මේ අතරතුරේදී ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයට රැස්වූ දහසක් දෙනා අමන්දානන්දයට පත් කරමින් දුඹුරු -රෝස පැහැ කොණ්ඩයක් හිමි අය්රිෂ් කොලුගැටයෙකු ක්‍රිකට් අයිතිකාර දේශයට ක්‍රිකට් උගන්වමින් සිටියේය..

ඒ 2011 එක්දින ලෝක කුසලානයේ 15වන තරඟයයි..අයර්ලන්තය හා එංගලන්තය පිටියේ තරඟ වැදුණි..කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රවුට් පිත්ත තෝරගත්තේ ප්‍රසාද ලකුණක් සමඟ ජයගැනීමේ අරමුණකින් විය යුතුය.කෙවින් පීටර්සන් සමඟ පිටියට පිවිසි ස්ට්‍රවුට් පළමු කඩුල්ලට 91 ක් එක් කලේය.. ස්ටුව්ට් ලකුනු 34කටද පීටර්සන් ලකුනු 59කට දැවුණු පසු පිටියේ එක්වුණු ජොනතන් ට්‍රොට් 92(92) හා ඉයන් බෙල් 81(86) තුන්වන් කඩුල්ලට ලකුණු 167 එක්කලේ එංගලන්ත ඉනිම ප්‍රබල කරමිනි..
පන්දුවාර 50 අවසානයේදී එංගලන්තය ලකුණු 328 දැවැන්ත ලකුණු පුවරුවක් රැස්කළේ අපේ භාෂාවෙන් නම් ” ගේමක් නැතුවම ගහන්න පුලුවන්” තරඟයක් තම දෝතට ලබාගනිමිනි..

පිළිතුරු ඉනිම ඇරඹුවේ නායක පොටර්ෆීල්ඩ් හා ස්ටර්ලින් ය..නමුත් ඉනිමේ පළමු පන්දුවෙන්ම පොටර්ෆීල්ඩ්ව දවාලමින් අතිශය බිහිසුණු ආරම්භයක් ලබා ගැනීමට ජිමී ඇන්ඩර්සන් සමත් විය.. එතැන් පටන් යුහුසුළුව ක්‍රියාත්මක වූ එංගලන්ත පන්දු බල ඇණිය අයර්ලන්ත පිලේ කඩුළු එකින් එක බිඳ හෙලන්නට පටන් ගත්තෙ අයර්ලන්තයට සැනසුම් සහගත පරාජයක්වත් නොලැබෙන බවට ඉගි සපයමිනි..

පන්දුවාර 25 ක් අවසානයේ අයර්ලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 111ට කඩුළු 5ක් ලෙසිණි.

මා පෙර සඳහන් කළ දඩබ්බරයාගේ සුදුමහත්තුරුන් දණ ගැස්සවීමේ ව්‍යාපෘතිය ඇරඹෙන්නේ එතැන් සිටය. පන්දු 150ක් තුළ ලකුණු 218ක් අවශ්‍යව තිබුණු මොහොතක ක්‍රියාත්මක වූ කෙවින් ඕ බ්‍රයන්ගේ පිත්ත ග්‍රැහැම් ස්වෝන්, ස්ටුවර්ට් බ්‍රොඩ්, ජිමී ඇන්ඩර්සන් වැනි පන්දුයවන්නන් තඹ සතේකට මායිම් නොකරමින් හතර අතටම වැන්නේනට පටන් ගත්තේය..වැඩේ අලවෙලාම ගිය බව ඇන්ඩෲ ස්ට්‍රව්ට්ට වැ⁣ටහෙන විට අතේ තිබූ තරඟය පේන තෙක් මානයකවත් නොමැති විය..

මේ කොලුවා පන්දු 50කින් තම ශතකය සම්පූර්ණ කළේ ලෝකකුසලාන තරඟයක වේගවත්ම ශතක⁣ය තමාගේ නමට හරවා ගනිමිනි..ඇලේක්ස් කුසැක් හා මූනි සමඟ වේගවත් සබඳතා දෙකකට පසුව දැවීයන විට කෙවින් පන්දු 63කින් ලකුණු 113ක් ලබා තිබුණේ හතරේ පහර 13ක් හා හයේ පහර 6ක් සමඟිනි..

වෙන්නට ඔනෑ සියලු දේම අවසන් වී තිබුණි..
49වන පන්දුවාරයේ පළමු පන්දුවට මූනි එල්ලකළ හතරේ පහරත් සමඟ අයර්ලන්තය ඓතිහාසික ජයග්‍රහණයකට උරුමකම් කීවේ ලෝක කුසලාන තරඟයක හොඳම හඹායාමේ වාර්තා තමන් සතුකරගනිමිනි..තරඟයේ වීරයා කෙවින් ඕබ්‍රයන් විය..
එය එදාමෙදා තුර දකින්නට ලැබුණු හොඳම සහ වටිනාම එක්දින ඉනිම් වලින් එකක් විය..

ඊටත් වසර අටකට පසු 2019 දී එංගලන්තය ලෝක ශූරයන් වුවද අයර්ලන්තය ක්‍රිකට් ලොවට ආධුනිකයන් වූ සමයක. අසල්වාසී කුඩා රාජ්‍යයකින් ලැබූ අවමන් සහගත පරාජය රැජිණගේ ජේත්තුකාර පුතුන්ට අමතක නොවණු ඇත…

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button