LPL අවසන් වටයේ තරග තීරණය වේ – සූරියවැවදි මහා ගැටුම් වල තරග කාලසටහන මෙන්න!

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පිට පිට දෙවන වතාවටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය සටහන් කර ගැනීමත් සමග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තරග කාල සටහන තීරණය වුනා.

මේ අනුව තරගාවලියේ අවසන් වටයේ තරග එළඹෙන ඉරිදා(19) දිනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ දී අවසන් මහා තරගය ඇතුළුව තරග 4ක් පැවැත්වෙන අතර, අවසන් වටයේ පළමු තරගය වන Qualifier 1 තරගය සදහා මෙවර සුදුසුකම් ලබා ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

මූලික වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් කණ්ඩායම හා දෙවන ස්ථානය හිමි කර ගත් කණ්ඩායම එලෙස Qualifier 1 තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගය හෙට (19) රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අදාළ තරගයට පෙර Eliminator තරගය හෙට දිනයේම පස්වරු 3.00ට හම්බන්තොටදී ම පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දිනා ගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වන ස්ථානය හිමි කර ගත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම Eliminator තරගයට ක්‍රීඩා කරයි.

මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර, ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායමයි.

Qualifier 2 තරගය පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ද අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

අවසන් මහා තරගය උත්ස්වාකාරයෙන් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදි එළඹෙන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button