මහේල කීම අසා කුසල් මෙන්ඩිස් ශම්මි ද සිල්වා හැර යයි – සම්පූර්ණ විස්තරය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතාට අයත් කොළඹ ක්‍රීඩා සමාජයේ (CCC) නායක කුසල් මෙන්ඩිස්, එම ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ තවත් ප්‍රබල බලයක් හිමි, ක්‍රීඩා සංවර්ධන කමිටුවේ මහේල ජයවර්ධන නියෝජනය කරනා සිංහල ක්‍රීඩා සමාජය (SSC) හා එක්වීමටයි.

මේ සඳහා මහේල ජයවර්ධන විසින්ම කුසල් මෙන්ඩිස්ට ආරාධනා කර තිබෙන අතර, කුසල් එම ඉල්ලීම පිළිගෙන තිබේ. කුසල් මෙන්ඩිස් මින්පෙර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අතර, ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් වූ ශම්මි ද සිල්වා ඔහුට සිය ක්‍රීඩා සමාජයට එක්වන ලෙස 2017 වසරේදී ආරාධනා කළා.

ඉන්පසුව ඔහු 2017 වසරේදී CCC ක්‍රීඩා සමාජයට එක් වූ අතර එතැන් සිට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේත් ස්ථිර ස්ථානයක් වෙන් වුනා. පසුව කුසල් මෙන්ඩිස් CCC කණ්ඩායමේ නායකත්වයට පත් කළ අතර, ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ සැළසුමක් පැවතියා.

නිමාවූ එංගලන්ත තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයට පත් කළ අතර, කුසල් ජනිත් පෙරේරාගෙ තාවකාලික නායකත්වයෙන් පසුව ඔහුව නායකයා ලෙස පත් කිරීමට ක්‍රිකට් සභාපතිවරයාට අවශ්‍යව තිබූ බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කළා.

කෙසේ වෙතත් එංගලන්ත සංචාරයේදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විනය විරෝධීව හැසිරුනු වීඩීයෝවක් සමාජමාධ්‍යයයේ හුවමාරු වූ අතර, පසුව පැවැති ක්‍රිකට් විනය පරීක්ෂණයකින් එම ක්‍රීඩකයන් තිදෙනාට වසර දෙකක තරග තහනමක් පැනවුනා.

ඉන්පසුව එම වසර දෙකේ තරග තහනම, වසර තරග තහනමක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ සඳහා සභාපති ශම්මි ද සිල්වා සෘජුව මැදිහත් වී තිබෙන බව වාර්තා වුනා.

මින් පෙර කුසල් මෙන්ඩිස් රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදීත් ක්‍රිකට් ආයතනය ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වූවේ නැහැ.

කෙසේ වෙතත් එම වසරක තහනමින් තමන් රැක නොගැනීම නිසා කුසල් මෙන්ඩිස්, ක්‍රිකට් සභාපතිවරයා සමග කලකිරීමකින් සිටි බවත් වාර්තා වුනා. ඉන්පසුව මහේල විසින් සිදු කළ ආරාධනාව පිළිගෙන කුසල් මෙන්ඩිස් මෙලෙසට SSC ක්‍රීඩා සමාජය සමග එක්වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button