“ලෝක කුසලානයට කවුරුහරි යවනවා නම් ඒ මහේල” අරවින්දගේ මෙහෙයුම ඇරඹේ!

හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක්කර ගැනීමට මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තා වේ.

මහේල ජයවර්ධන සැලකෙන්නේ මේ වන විට ලොව සාර්ථකම පුහුණුකරුවෙකු ලෙස වන අතර ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ වසර හතරක් තුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශූරතා 3ක් දිනා දීමට මග පෙන්වනු ලැබුවා.

එමෙන්ම එංගලන්තයේ ප්‍රථම වරට පැවැති “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ ශූරතාවය දිනූ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේද මහේල ජයවර්ධනයි.

එළඹෙන ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම සාකච්ඡාවට ලක් වුණා. ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මින් පෙර ප්‍රකාශ කළේ එම තනතුරට සුදුසුම පුද්ගලයා මහේල බවයි.

මාධ්‍ය්‍යයට අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කළ අරවින්ද

“අපි යමෙකු යවන්නේ නම්, අපි මහේලව තමයි යවන්නේ, ඔහු කැමති නම්” යනුවෙන් ප්‍රකාශ කර තිබුනා.

“ඔහු විශිෂ්ට පුහුණුකරුවෙකු හා උපදේශකයෙකු බව ඔප්පු කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩක විවේකාගාරය බෙදා ගන්නවාට අපි කැමතියි”

නිමාවූ දකුණු අප්‍රිකාවනූ තරගාවලියේදී ලැබූ පරාජයෙන් පසුව ලෝක කුසලානය වෙනුවෙන් උපදේශකයෙකු පිටත් කර හැරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිළධාරීන්ගේ ද අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමත් මෙවර ලෝක කුසලානය ඉලක්ක කරමින් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට  කටයුතු කළා.

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළබෙන ඔක්තෝබර් 17 වනදා සිට ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button