දකුණු රටේ “ගෝල් ග්ලැඩියේටර්ස්” තවත් ශක්තිමත් වේ – ඇන්ඩ්‍රේ රසල් ඇතුලු සුපිරි තරු ගෙන්වීමටත් සුදානම්!

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දකුණු පළාත නියෝජනය කරන “ගෝල් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම තව තවත් සවිමත් වී තිබේ. ඒ කණ්ඩායමට තවත් නව හිමිකරුවන් දෙදෙනෙකු එක්වීමත් සමගයි.

ගෝල් ග්ලැඩියේටර්ස් හිමිකාරීත්වය දරන්නේ පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික නදීම් ඕමාර් වන අතර, පකිස්ථානු සුපර් ලීග්හි ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේද හිමිකාරිත්වය ඔහු දරයි. නදීම් ඕමාර් හිටපු ක්‍රීඩකයෙක් ද වෙයි. එමෙන්ම අසීස් අබ්දුල් රහීම් කසාමලී සහ මජීඩ් බෂීර් යන මහත්වරුන් සම හිමිකරුවන් ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබේ.

ඒ අනුව කණ්ඩායමේ මූල්‍යමය ශක්තිය තවත් ඉහළ ගොස් තිබෙන අතර, ලංකා ප්‍රීමියර් ලීගයේ වැඩිම මූල්‍යමය ශක්තිය පවතින කණ්ඩායම බවටත් ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ පත්ව තිබේ.

වාර්තා වන අන්දමට මෙවර තරගාවලියට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලොව පුරා සුපිරි ක්‍රීඩකයන් රැසක් එක්කර ගැනීමට නියමිතය. ඒ අතර ලොව දක්ෂතම විස්සයි විස්ස ක්‍රීඩකයෙකුද වන ඇන්ඩ්‍රේ රසල්ද ඇතුලත් බව වාර්තා වේ.

පළමු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමටත් සමත් වූයේ “ගෝල් ග්ලැඩියේටර්ස්” කණ්ඩායමයි.

මේ පිළිබඳව අදහස් දක්වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරු නදීම් ඕමාර්,

“ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කාලය අපට ඉතා තීරණාත්මකයි. විශේෂයෙන් අපි පසුගිය තරගාවලියේ දී අසාම් ඛාන්, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ වැනි තරුණ ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන දස්කම් දුටුවා. ඔවුන්ගේ මෙම හැකියාවන් අපගේ කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් ශක්තියක්.

ඊළඟ තරඟ වටයේදී පෙරටත් වඩා හොදින් ක්‍රීඩා කර ජයග්‍රාහී කුසලානය දිනා ගැනීම අපේ බලාපොරොත්තුවයි. ගාල්ල අවට ප්‍රේක්ෂක ජනතාව සැමදා අප සමඟ නොමදව රැදී සිටියා. පවතින වසංගත තත්වය නිසා ඔවුන්ට ක්‍රීඩාංගණ තුළට යාමට ඉඩ නොතැබූ නමුත් විවිධ ක්‍රම හරහා ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය අපව තව තවත් දිරිමත් කලා.” යනුවෙන් ප්‍රකාශ කළා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නිල ප්‍රවර්ධකයා වන ඩුබායි මූලස්ථානය කර ගත් IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මේ පිළිබඳව අදහස් දක්වමින්,

“Galle gladiators විසින් LPL තරගාවලියේ පළමු අදියර තුළ විසල් දස්කම් පාමින් කැපීපෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. LPL දෙවන තරගාවලිය තුළදී ග්ලැඩියේටර්වරුන් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් දිගහරිණු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ගාල්ල කණ්ඩායමේ දස්කම් මෙම තරගාවලියේ වර්ධනයට ඉවහල් වන බව මට විශ්වාසයි.” යනුවෙන් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button