කෝටි ගණනක් අපතේ – ශ්‍රී ලංකාවෙන් වැටුප් ලබමින් ලෝකේ වටේ යන ටොම් මූඩී ලෝක කුසලානයටත් නෑ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව බලවත්ම ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙකු වන ටොම් මූඩි, එළඹෙන T20 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්නොවන බව වාර්තා වේ.

2014 වසරේ T20 ලෝක ශූර ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට පවා අසමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ A කණ්ඩායම යටතේ ලෝක කුසලානයට ස්ථානයක් සෙවීමට තරග වදිනු ඇති. ඒ නැම්බියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමගයි.

ලෝක කුසලානයේදී අධ්‍යක්ෂ ටොම් මූඩිගේ භූමිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියෙකු මාධ්‍යයට පවසන්නේ

“ඔහු ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කඳවුර සමග එක්නොවෙනු ඇති” යනුවෙනි.

2007 කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ටොම් මූඩි, පසුගිය මාර්තු මාසයේදී මෙරට ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුනා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම වෙනුවෙනි. අරවින්ද සිල්වා විසින් සභාපතීත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ නිර්දේශය මත දින 100කට ටොම් මූඩි මෙම තනතුරට පත් කෙරුනේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක වැටුපකටයි. එය ශ්‍රී ලංකා මුදලින් දින 100කට රුපියල් ලක්ෂ 400ක වැටුපක්.

ටොම් මූඩි පුහුණුකරු යටතේ ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ද මේ කමිටුවේ සමාජිකයන් ලෙසින් කටයුතු කරනවා. මෙහිදී ටොම් මූඩි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දේශීය තරගාවලි ව්‍යූහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, පුහුණුකරුවන්ගේ ව්‍යූහය සහ දත්ත භාවිතය පිළිබඳව අධීක්ෂණය කරනු ඇති.

කෙසේ වෙතත් සිය පත්වීමෙන් අනතුරුව ටොම් මූඩී ශ්‍රී ලංකාවට පැමිණියේ එක්වරක් පමණයි. පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එංගලන්ත සංචාරයට එක්වුනා. කෙසේ වෙතත් ඔහු කණ්ඩායම සමග කටයුතු කළේ නිරෝධානය වූ සමයේ පමණයි. පසුව ඔහු එංගලන්තයේ පැවැති The Hundred තරගාවලියට පුහුණුකරුවෙක් ලෙස එක්වුනා. ඔහූ ඕවල් වින්සිබ්ල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඉන්පසුව ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණි, එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට පිටටු වුනා. ඒ IPL තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස එක්වීමටයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වසරේ වැදගත්ම තරගාවලියට ටොම් මූඩිගේ සහය නොලැබෙනු ඇති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීනයෙක් මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ

“ටොම් මූඩිට එතරම් වැදගත් නැති එංගලන්ත සංචාරය වෙනුවෙන් කණ්ඩායම සමග එක්විය හැකි නම්, කණ්ඩායමට අතිශය වැදගත් ලෝක කුසලානයකට ඔහුට එක්වීමට නොහැකි වීම ගැටලු සහගතයි. විශේෂයෙන්ම ඔහු දැනටමත් ඉන්නේ එක්සත් අරාබී ඒමිර් රාජ්‍යයේ, ඉතින් ඇයි ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට බැරි, දැනටමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ විහිලු හැදිලා ටොම් මූඩි සම්බන්ධය, ඔහු ශ්‍රී ලංකාවට ඇරෙන්න අනිත් හැම කණ්ඩායමක් සමගම වැඩ කරනවා කියලා” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button