“ඔලිම්පික් කමිටුවට සල්ලි දෙන්නම්” – ක්‍රිකට් ආයතනය, “එයාලගේ සල්ලි අපිට එපා” – ඔලිම්පික් කමිටුව

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුවට ඉහළින් හැකියාව තිබෙන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය අපේක්‍ෂා නොකරන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසනවා.

මින්පෙර ඔලිම්පික් කමිටුවට අවශ්‍ය අනුග්‍රහය ලබා දීමට ක්‍රිකට් ආයතනයට හැකි බවට ක්‍රිකට් ආයතනය සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරනවා.

ජාතික ඔලිම්පික් කමිටුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ එවැනි කිසියම් මූල්‍ය අවශ්‍යතාවක් ඇතිවුවහොත් තමන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, මෙරට ක්‍රීඩා අමාත්‍යංශය හෝ පෞද්ගලික ආයතන වෙත යොමුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කිසිඳු උපකාරයක් අවශ්‍ය නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නම් මෙරට අනෙකුත් ක්‍රීඩා සංගම්වලට උපකාර කිරීමට හැකි යැයිද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

මින්පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමටම සම්පූර්ණ අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවයි. ඒ සදහා වැය වන මුදල රුපියල් කෝටි තුනක් හෝ හතරක් බව ප්‍රකාශ කළා.

“ඒක ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක්. ඇරත් අපි මීට ඉස්සරවෙලාත් ඒ වගේ දේවල් කරලා තියෙනවා, මේක අලුත් දෙයක් නෙමේ. 2018 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයාට කාර් එකක් තෑගි කළෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම තමයි“ යනුවෙන් ශම්මි ද සිල්වා සභාපතිවරයා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button