මාලිංග හා මැතිවුස් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවූ හේතුව හෙළිවේ

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නම් කළා. මින්පෙර ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යවා තිබූ සංචිතය Cricket Glory අප විසින් වාර්තා කළා.

මේ අනුව ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනෙකු ඇතුලත්ව තිබේ. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටයි.

කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ලසිත් මාලිංග සහ ඇන්ජලො මැතිවුස් දෙදෙනාම ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව නැහැ. ලසිත් මාලිංග සහ ඇන්ජලො මැතිවුස් දෙදෙනාම තමන් ලෝක කුසලානය සඳහා සුදානම් බව ක්‍රිකට් ආයතනය වෙත දැන්වූ බව වාර්තා වෙනවා.

මින්පෙර ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ පුද්ගලික හේතුවක් මත, තමන් තේරීම් වලින් ඉවත් කරන්නැයි ඇන්ජලො මැතිවුස් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් ඇන්ජලො මැතිවුස්ගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු විසින් ලෝක කුසලානයට සුදානමින් සිටි බවයි.

ලසිත් මාලිංගද ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමු නොගත්තේ ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ලසිත් මාලිංග සහ ඇන්ජලො මැතිවුස් දෙදෙනාගේම ශාරිරීක යෝග්‍යතා මට්ටම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබේ.

තවද ප්‍රමෝද්‍ය වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායමේ වර්තමානයේ පවතින කණ්ඩායම් සමිශ්‍රණය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු පැමිණි පසු බිඳ වැටී යාහැකි බවයි. මෙම හේතුන් නිසා මෙම ජ්‍යේෂ්ඨයන් දෙදෙනාට ලෝක කුසලානය අහිමි වී තිබෙනා අතර, වාර්තා වන අන්දමට ලසිත් මාලිංගට ඉදිරියේදී තරග හිමි නොවනු ඇති. එළඹෙන ලෝක කුසලානයෙන් පසුවද, ඉදිරි ලෝක කුසලාන සඳහා ඉලක්ක කරමින් පමණක් කණ්ඩායම ගොඩ නැගීම සිය දර්ශනය බව තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ලසිත් මාලිංග විසින් සමුගැනීමේ තරගයක් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳව සළකා බැලෙන බවත් තේරීම් කමිටුව විසින් සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත් ලසිත් මාලිංග මින්පෙර දැරූ ස්ථාවරය වන්නේ තමන් ක්‍රීඩාවෙන් සමුගැනීමටත් සුදානම් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතය

දසුන් ශානක – නායක, ධනංජය ද සිල්වා – උප නායක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්. කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ

අතිරේක : නුවන් ප්‍රදීප්, පුළින තරංග, ළහිරු කුමාර, ළහිරු මධුසංඛ

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා නොමැති අතර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට මූලික වටයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදු වෙනවා. එහිදි ශ්‍රී ලංකාව නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමඟින් තරග වැදීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button