එංගලන්තයේදී අවසන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අපලය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේය.

තරගයේ මුල් බාගයේ ස්ථාවර වීමට කාලය ලබා ගත් අවිශ්ක පසුව ඉනිම වේගවත් කරමින් ලබා ගත් ශතකය, අතිශය පරිණත ඉනිමක් ක්‍රීඩා කරමින් අසලංක ලබා ගත් අර්ධ ශතකය ජයග්‍රහණයට අඩිතාලම දැම්මේය.

පන්දුවාර පනහ අවසානයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාවට ලඟා විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඉතා හොද තැනක පසුවුයේය. නමුත් විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම මිනිත්තුවක තරගය අතහැර සිටියේ නැත.

කොටින්ම ඔවුන් තරගය පැවැත්වූ පන්දුවාර සීය තුලම සිටියේ ‘ගේමේය’. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙවැනි ආකල්පයක්, කැපකිරීමක් අප දකින්නේ කාලයකට පසුවය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල තැනක සිටියත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ක්‍රීඩා කළේය තරගය අත නොහැර ජය ගැනීමටමය.

එහිදී වනිඳු හසරංගත්, නායකයාගෙන් පන්දුව ඉල්ලාගෙන අවසන් පන්දුවාර වල ජය තහවුරු කළ චාමික කරුණාරත්නගේත් “උණන්දුව” මෑත කාලයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගෙන් අප දැක්කේ නැත.

දැඩි කැපවීම, උත්සාහය මතින් ජාතික කණ්ඩායමට පැමිණි චාමික “රට වෙනුවෙන්” ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු බව ක්‍රිකට් රසිකයෙකුට නිතැතින්ම පෙනී යන්නකි. ඔහු පරාජය කිසිසේත් පිළිගැනීමට සුදානම් නැත.

යොවුන් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වූවත්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස හැසිරෙන, ක්‍රීඩා කරන චරිත් අසලංක වත්මන් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයායි.

ඔහු සුවිශේෂී වන්නේ ඔහු අතිදක්ෂ පිතිකරුවෙක් නිසා පමණක් නොවේ. වසර ගණනාවක සිට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය ඔහු හඳුනා ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සහ තරග කියවීම පිළිබඳ විශ්මිත දැනුමක් තිබෙනා ක්‍රීඩකයෙකු ලෙසයි.

එම නිසාම විචාරකයන්, හිටපු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ඔහු හඳුන්වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අනාගත නායකයා ලෙසිනි. ඔහු එතරම්ම නායකත්ව කුසලතා සහ ක්‍රිකට් දැනුමක් තිබෙනා ක්‍රීඩකයෙකි. වඩා වැදගත් දේ මේ සෑම ක්‍රීඩකයෙකුම ඉතා විනය ගරුක ක්‍රීඩකයන් වීමය.

අනිත් පසින් නායක දසුන් ශානක ගැනත් නොකියාම බැරිය. ඔහු වාසනාවන්ත නායකයෙකි. එමෙන්ම ඔහුද විනය ගරුක එසේම දක්ෂ, කැපවීමක් තිබෙනා ක්‍රීඩකයෙකි.

වර්තමාන කණ්ඩායම ඉතාමත් එකමුතු, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරනා කණ්ඩායමක් බවත් පෙනී යයි. ඔවුන්ගේ විනයත් ඉතා ඉහළය.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දියාරූ වී ගිය, දුර්වල, දිනන්නට ක්‍රීඩා නොකරන, වෘත්තීයත්වයක් හෝ කණ්ඩායම් හැගීමක් හෝ විනයක් නොතිබූ දුර්වල කණ්ඩායමකි.

විනය කඩ කිරීම්, විවේකාගාර තුල කාර්ඩ් සෙල්ලම්, වෛද්‍යවරියන් සමඟ අයතා හැසිරීම් ආදිය නිතිපතා වාර්තා විය.

මාස කිහිපයක් තුල මේ සියල්ල උඩු යටිකුරූ වී තිබේ.

ලැජ්ජා සහගත අන්ත පරාජයකට ලක්වූ, ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරගාවලියේදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලංඩන් වීදී වල රාත්‍රීයේ සැරිසරනා ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජජාලා මගින් ප්‍රසිද්ධ විය.

මෙතෙක් කාලයක් පිට පිට බිංදු ගැසූවත් විවිධ විනය කඩ කිරීම් සිදු කළත් ක්‍රිකට් බලධාරීන් සිදු කළේ මෙම ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමය.

තරග ජය ගැනීමට නොව, ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුදල් ඉපැයීමට ක්‍රීඩා කළ ඔවුන් දිගින් දිගටම අසාර්ථක වෙද්දි කණ්ඩායමේ නිශ්චිත ස්ථාන වෙන්කරගෙන සිටියේය.

අසලංකලා, චාමිකලා ස්ථානයක් නොමැතිව බංකු රත් කළේය.

එම වීඩියෝ ප්‍රසිද්ධ වීමත් සමග පැන නැගුනු දැඩි විරෝධතා හේතුවෙන් අවසානයේ හෝ ක්‍රිකට් බලධාරීන්ට කුසල්, දික්වැල්ල, ගුණතිලක තුංකට්ටුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවිය.

චරිත් අසලංකලාට, මිනෝද් භානුකලාට සංචිතයේ දොරගුලු ඇරෙන්නේ මෙම සිදුවීමත් සමගය.

අකමැත්තෙන් හෝ ක්‍රිකට් බලධාරීන්ට මේ යොවුන් ක්‍රීඩකයන් කණ්ඩායමට එක්කිරීමට විය.

එතැන් පටන් සිදුවූ දේ රටම දුටුවේය.

මෙරට ක්‍රිකට් බලධාරීන්ට රට ගැන අඹමල් රේණුවක හෝ ඇල්මක් ඇත්නම් ඔවුන්ට මේ වෙනසට හේතුව පැහැදිලි විය යුතුය.

ඔවුන්ට තවදුරටත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැංවීමේ අවංක අභිලාශයක් ඇත්නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය සමයේම පැවැති දියාරු, ඇල්මැරුනු ස්වභාවයට හේතුව පැහැදිලි විය යුතුය.

පසුගිය සමයේ මෙරට ක්‍රිකට් රසිකයන්ට ක්‍රිකට් එපා කෙරවූ අපලය කුමක්දැයි ඔවුන්ට වැටහිය යුතුය.

වසරකට පසුව ඔවුන් තරග තහනම ඉවත් වී පැමිණි පසු මේ ගොඩනැගෙන කණ්ඩායම යළිත් බිඳදමමින්, සිය සහචරයන්ට යළිත් අවස්තාව ලබා නොදීමට තරම් ඔවුන් ඥානවන්ත විය යුතුය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button