ක්‍රීඩා ඇමති නාමල් වැඩට බසියි – ජාතික කණ්ඩායමේ විනය STF ලතීෆ්ට භාර දෙයි!

ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව වෙනස් කරමින්, යළි පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුවේ සභාපතිධූරය හිමිව තිබෙන්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රුවයිස් ලතීෆ්ටය. විශ්‍රාම යනවිට ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරියා ලෙසින් කටයුතු කරන ලදි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති දැවැන්ත ගැටලුවක් වී තිබෙන්නේ කණ්ඩායමේ ක්‍රිඩකයන්ගේ විනය පිරිහීමයි. ක්‍රීඩකයන් මත්පැන්, රාත්‍රී සමාජ ශාලා වලට සහ සමාජ ජාල වෙබ් අඩවි භාවිතයට හුරුවීම ඔවුන්ගේ දක්ෂතාවය පිරිහීමට ප්‍රධාන හේතුව බව විචාරක මතයයි.

පසුගියදා ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙම ගැටලු විසඳීමට තමන් පුද්ගලිකව මැදිහත්වන බවටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කලු පැල්ලමක් එක්කළ උප නායක කුසල් මෙන්ඩිස් ඇතුලු ක්‍රීඩකයන්ට දඬුවම් දීම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පළමු කාර්ය වනු ඇත.

වාර්තා වන අන්දමට කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට වසරක තරග තහනමක් පැනවීමට ඉඩ තිබෙනා අතර, ක්‍රිකට් රසිකයන් පවසන්නේ මෙම තිදෙනාට වසරක දඬුවමක් ප්‍රමාණවත් නොවන බවය.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ ඔවුන් මෙම තිදෙනාට දැඩි දඬුවම් ඉල්ලා සිටිමින් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button