කොදෙව්වන් හා ගැටෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යළිත් ජ්‍යේෂ්ඨයන් කැඳවයි

මෙරට ක්‍රිකට් රසිකයන් පසුගිය මාස කිහිපයම ගත කළේ සීමීත ඕවර තරගාවලි උදේසාය. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කළ එම තරගාවලින්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට යොවුන් තරු රැසක් බිහිවූයේය.

චරිත් අසලංක, වනිදු හසරංග, පැතුම් නිස්සංක ඉන්සමහරෙකි. සීමිත ඕවර තරගම ක්‍රීඩා කළ යුගය අවසන් කරමින් යළිත් ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණ තිබේ.

මේ අනුව බටහිට ඉන්දීය කොදෙව් දූපත් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 22 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයක් නම් කර තිබෙන අතර ඒ සඳහා අමතක වී තිබූ පැරණි මුහුණ කිහිපයක්ද ඇතුලත් කර තිබේ.

මෙම සංචිතය පිතිකරුවන් 10 දෙනකු, වේග පන්දු යවන්නන් 7 දෙනකු සහ දඟ පන්දු යවන්නෝ පස්දෙනෙකුගෙන් යුක්තය.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට නැවතත් කැඳවා සිටිති. ඔවුන් අතරට විසි හැවිරිදි කමිල් මිෂාර සහ විසි එක් හැවිරිදි චාමික ගුණසේකර දෙදෙනාත් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

තවමත් ශී‍්‍ර ලංකාවේ සංචාරය කරමින් සිටින පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පසුගියදා පල්ලෙකැළේදී පැවැති නිල නොවන ටෙස්ට් තරග දෙකේදී මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම දස්කම් දැක්වූයේය.

කමිල් මිෂාර එම තරග දෙකේදී දෙවතාවක්ම ලකුණු 98 ක් බැගින් ලබාගත්තේය. දකුණතින් වේග පන්දු යවන චාමික ගුණසේකර දෙවැනි තරගයේදී ලකුණු 83 කට කඩුලූ 6 ක් දවාගත්තේය. පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව කී‍්‍රඩා කළ සුමින්ද ලක්ෂාන් පළමු පෙළ කඩුලූ 56 ක් දවාගෙන ඇතත් වැඩි දස්කම් පෙන්වා ඇත්තේ පිතිකරුවකු ලෙසිනි. ඔහු පළමු පෙළ තරග 29 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් ද සමගින් ලකුණු 1488 ක් ලබාගෙන ඇත්තේ ද්විත්ව ශතකයක්ද සමගිනි.

වසර කිහිපයකටම පසු ටෙස්ට් තරගාවලියකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් 7 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබීම විශේෂත්වයකි.

මෙම සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් අතුරින් චාමික කරුණාරත්න තුන් ඉරියව් කී‍්‍රඩකයන්ගේ කාණ්ඩයට ඇතුලත් කර තිබේ. ඒ මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පන්දු ආක‍්‍රමණය දඟ පන්දුවෙන්ද නැතහොත් වේග පන්දුවන්ද යන්න පුහුණුකරුවන්ට තීරණය කිරීමේ අවස්ථාව සපයමිනි.

දඟ පන්දු යවන්නන් පස්දෙනකුගෙන් සමන්විත සංචිතයට සුමින්ද ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකතු කර ඇත්තේද තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙසිනි. ඒ අනුව ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකැන් අතරට දකුණතින් පා දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන් හෝ දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් එකතු කර ගැනීමේ අවස්තාව හිමි වේ.

ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කමිල් මිෂාර, රොෂේන් සිල්වා, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු සහ චාමික ගුණසේකර

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button