මෙන්ඩිස් ඉවතට – බාධා මැද අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම නම් කෙරේ!

T20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දීර්ඝතම තරගාවලිය අද (11) ඕස්ට්‍රේලියාවේදි ආරම්භ වේ.

මෙවර ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට T20 තරග 5ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාව රටවල් දෙකක් අතර තරග පහක T20 තරගාවලියකට මුහුණ දෙන්නේ පළමු වරටයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වත්මන් T20 ලෝක ශූරයන් වන අතර, ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව ඔවුන් සහභාගී වන පළමු T20 තරගාවලිය මෙයයි.

තරගාවලියේ පළමු තරගය අද (11) මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් අහිතකර බලපෑම් එල්ල වීමට වැඩි ඉඩක් ඇති බව කාලගුණ වාර්තා පෙන්වා දේ.

පසුගිය දිනවල පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසි වලටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී මේ දක්වා T20 තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් වැඩි දස්කම් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරග 5ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දි ඕස්ට්‍රේලියාව තරග 4ක් ජය ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව පරාජයට පත් වූ තරග හතරම ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ අවසන් T20 තරග හතර වීම විශේෂත්වයක්.

අද පැවැත්වෙන පළමු තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

තරමක නවක සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සං‍යුතියකින් සැඳුම් ලත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නොම්මර තුන පිතිකරු ලෙස ක්‍රීඩා කරන ජොෂ් ඉංග්ලිෂ් ජාත්‍යන්තර T20 වරම් දිනාගන්නේ අදයි.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණුලාභීයා වූ බෙන් මැක්ඩර්මොට්ද ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරනු ඇති.

Australia XI : බෙන් මැක්ඩර්මෝට්, ඒරෝන් ෆින්ච්, ජොශ් ඉංග්ලිෂ්, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයින්ස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජෝශ් හේසල්වූඩ්

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසනීප තත්ත්වයෙන් පසුවන කුසල් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

අද තරගයේදීත් පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

යොවුන් පිතිකරු චරිත් අසලංකට යළිත් නොම්මර තුන ස්ථානය හිමි වීමේ ඉඩක් පවති.

විනය විරෝධි ක්‍රීඩා නිසා කණ්ඩායමෙන් ඉවත් කර සිටි ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවෙකු ලෙස යළි කණ්ඩායමට පැමිණීමට ඉඩ ඇති අතර, එසේ වුවහොත් නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථකව ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට යළි ජාතික කණ්ඩායමේ හිමිවන්නේ අංක 4 ස්ථානයදැයි ප්‍රශ්නාර්ථයක්.

Sri Lank XI : පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ

මෙම තරගය ලොව පුරා ප්‍රේක්ෂකයන්ට Sony Ten Cricket නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්තාව හිමි වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button