පන්දු දහ තුනකින් සුපිරි අර්ධ ශතයක් රැස් කළ සුනිල් නැරීන්ගේ මල් වෙඩි ඉනිම!

බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්රීඩක සුනිල් නැරීන් සැලකෙන්නේ සුපිරි පන්දු යවන්නෙක් සේම දක්ෂ පිතිකරුවෙක්ද ලෙසටයි.
මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් සිටින සුනිල් නැරීන් ඊයේ (16) එම තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නැරීන් මෙවර තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේදී (2nd Qualifier) චැතගොම් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව මෙම දස්කම වාර්තා කළා.
මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චැතගොම් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 148ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පන්දුවාර 12.5ක් තුල කඩුලු තුනක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළේ සුනිල් නැරීන්ගේ සුපිරි පිති හරබය හේතුවෙන්.
එහිදී පන්දු 16ක් තුල ලකුණු 57ක් ලබා ගත් නැරීන් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 13කින්.
ඔහුගේ ඉනිමට යෝද හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුලත් වුනා.
ඒ අනුව තරගාවලියේ අවසන් තරගය කොමිලා වික්ටෝරියන්ස් සහ ෆෝචූන් බරිෂාල් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
හෙට(18) මෙරට වේලාවෙන් පස්වරු 5ට තරගය ආරම්භ වීමට නියමිතයි.
නැරීන්ගේ සුපිරි ඉනිමේ දර්ශන පහතින්,