සුරංග ලක්මාල්ගේ හදිසි සමුගැනීමට හේතුව මිකී ආතර් ?

මෑත යුගයේ ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම ටෙස්ට් වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් පසුගිය දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළා.

මේ වන විට 34 වන වියේ පසුවන සුරංග ලක්මාල් එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව මෙලෙසින් නිවේදනය කළා.

මෑත යුගයේ ඉතාම නිවැරදි එල්ලයකින් සහ වේගයකින් පන්දු යැවූ ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පවා කටයුතු කළා.

මේ වනවිට ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 86ක් හා T20 තරග 11ක් ක්‍රීඩා කර තිබේ. එහිදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 168 ක්, එක්දින කඩුලු 109 ක් හා T20 කඩුලු 8ක් බිද හෙලීමට සමත්ව තිබේ.

මෙලෙසට සමුගැන්ම ප්‍රකාශයට පත් කළ සුරංග ලක්මාල් එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග සඳහා ගිවිසුම් ගතවී තිබේ.

වසර දෙකක කාලයක් සදහා ඔහු සිය කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව ඩර්බිෂයර් කණ්ඩායම අද(3) නිවේදනය කළා. ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් සියලු ආකෘතීන්හි ක්‍රීඩා කිරීම සඳහා ඔහු මෙලෙසට ගිවිසුම් ගත වී තිබේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට සුරංග ලක්මාල් සිය පවුල සමග එංගලන්තයට සංක්‍රමණය වීමේ අදහසකින් මෙලෙසට ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගෙන එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්වේ.

ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ වත්මන් ක්‍රිකට් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් ය.

මෙලෙසින් සුරංග ලක්මාල් ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ලබා ගැනීමේ මෙහෙයුම පසුපස සිටි මහ මොළකරු මිකී ආතර් බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button