මාධ්‍යයට එරෙහිව දසුන් කියූ කතාවේ නොපෙනෙන ඇත්ත!

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කර තිබූ මාධ්‍යය හමුවකදී නායක දසුන් ශානක ප්‍රකාශ කළ කරුණක් කතාබහට ලක්වුනා.

එහිදි දසුන් ශානක මාධ්‍යයෙන් විමසා සිටියේ මාධ්‍යවේදීන් කොතරම් දුරට මෙරට පළමුපෙළ තරග නරඹනවාදැයි යන්නයි.

එයින් නොනැවතුනු දසුන්, තරගයක් දෙකක් පරාජය වූ පමණින් ක්‍රීඩකයන් නිර්ධය ලෙස විවේචනය කිරීමෙන් වලකින ලෙසත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ පිළිබඳව ක්‍රිකට් රසිකයෙක් අපූරු සටහනක් තබා තිබුනා.

එම සටහන පහතින්,

මාධ්‍ය කියන්නේ පසුගිය දිනවල ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට නිරතුරුවම විවේචනය කළ කන්ඩායමක්,

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ක්‍රීඩකයෙක් කියන්නේ පුදුම මානසික ශක්තියක් තියෙන්න ඕනි මනුස්සයෙක්,

හේතුව එකක් නෙමෙයි. අනිත් මිනිස්සුන්ට වගේ මේ ක්‍රීඩකයෝ කියන කොට්ඨාසයටත් තමන්ගේ ප්‍රශ්න තියෙනවා. පහුගිය දවස්වල මැච් පැරදුනා.

ක්‍රීඩකයෙක් විදිහට තරග අසාර්ථක වෙද්දි පරාජය වෙද්දි ඒ පරාජයන් දරා ගන්න ඕනි. ඒ ඔක්කෝටම හපන් මාධ්‍යය. එහෙන් සමාජ මාධ්‍ය ක්‍රීඩකයින් අසාර්ථක වෙද්දි හොද පද කියමින් අමතනවා. සමහර මාධ්‍ය පහුගිය කාලවකවානුවේම ක්‍රීඩකයින් විවේචනය කළා.

මහ ලොකු මාධ්‍ය සංදර්ශනකාරයින්ගේ අවසාන නැටුම තිරගත වුනේ පසුගිය ආසියානු කුසලානයේදී. අපි මෙවර ආසියානු කුසලානයේ පලවෙනි තරගය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් දන්න බොහෝ දෙනෙක් දන්නවා තරගයක් අහවර වුනාට පස්සේ මීලඟ තරගයට සැලකියයුතු දින ගණනක් තියෙයි නම් තරගයට පසු දා ක්‍රීඩකයින් විවේකී සුවයෙන් ඉන්නවා.

ඉතිං අපේ ජාතික කන්ඩායමත් පලවෙනි තරගය ක්‍රීඩා කරාට පස්සෙ ඔවුන්ට මානසික සුවය වෙනුවෙන් පසුදා විවේක ගත්තා. විනෝද වෙලා පරාජිත වේදනාව මනසින් ඉවත් කරලා දෙවෙනි තරගයට මනස සකසා ගත්තා.

ඉතිං මේ මාධ්‍ය විසින් තරග පරාජය වෙලා ප්‍රේක්ෂකයන් දුකින් ඉද්දි ක්‍රීඩකයින් විනෝද වෙනවා කියලා සමහරක් මේ අමුතු නාලිකාවටම ගැලපෙන ක්‍රිකට් නොදත් මිනිසුන්ගේ ඔලු වලට ඒත්තු ගන්වන්න පුවත් නිර්මාණය කරලා ක්‍රීඩකයින් විවේචනය කළා.

මීට පෙරත් සමාජ මාධ්‍ය වගේම විවිධ මාධ්‍ය නාලිකා ක්‍රිකට් කන්ඩායමට දිගින් දිගටම විවේචනය කළා මතකයි.

මාධ්‍ය හමු වලදී කන්ඩායම හෑල්ලු කරමින් ප්‍රශ්න ඇසූ අයුරු මතකයි.

එදා දසුන් පසු පාදයේ ආරක්ෂිත පහරවල් වලට ගිහින් ක්‍රීඩකයින් සහ තමන්ගේ කන්ඩායම ආරක්ෂා කරගෙන මාධ්‍ය හමුවේ ඉවසීමෙන් වචන හැසුරුවා.

අවසානයේ දසුන් දින්නා. වසර ගණනක් චෝදනා වලට නිරන්තරයෙන් ලක් වුනු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කරලා තවමත් චෝදනා විදින්නට තරම් තමන්ගේ ක්‍රිකට් කන්ඩායම අදක්ෂ කන්ඩායමක් නෙමෙයි කියලා ලෝකෙටම පෙන්නුවා.

ඔන්න ඒ ඉවසිලිවන්ත ආරක්ෂකයා අද මේ මාධ්‍යයට තමන්ගේ සුපුරුදු පෙර පාදයේ ප්‍රහාරාත්මක පහරවල් දියත් කරමින් ඉන්නවා.

දසුන් කුසලානය දිනලා හරි අපූරු කතාවක් කියනවා. ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්. ඒ නිසා මාධ්‍ය බලාගෙන ඉන්නේ ක්‍රිකට් වලටම පහර ගහලා සිල්ලර කාසි වලට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම බිලි ගන්න.

ඉතිං දසුන් කියනවා ක්‍රිකට් වගේම අනිත් ක්‍රීඩා ගැනත් මේ මාධ්‍යයේ අවධානය යොමු වෙලා අනිත් ක්‍රීඩාත් උඩට ගන්න උත්සහ කරොත් වටිනවා කියලා.

ක්‍රිකට් කන්ඩායම තරග ජයග්‍රහණය කරද්දි ඒක මේ රටේ ප්‍රධාන පුවතක් වෙද්දි එවන්ම මාධ්‍ය සහයෝගයක් අනිත් ක්‍රීඩා වලටත් දුන්නොත් ඒක ඒ අනිත් ක්‍රීඩා වලටත් හොද දෙයක් කියලා දසුන් කියනවා.

දසුන් කරේ හොද යෝජනාවක්..

එතැනින් ඉවර නැ. දසුන් මාධ්‍යයට ස්තූති කරනවා. ඒ එදා ඔහු ගැන රටක්ම දැන ගන්න මාධ්‍ය කරපු මෙහෙවර නිසා. මේ 2016දී වුනු දෙයක්. දසුන් විස්සයි විස්ස ශතකයක් ගහනවා. ඒ ශතකයට හයේ පහරවල් 16ක් ඇතුලත් වෙනවා. අන්න එදා තමයි මුලින්ම දසුන් ගැන මුලු රටක්ම දැන ගන්නේ. ඉතිං දසුන් ඒ ගෞරවයත් මාධ්‍යට දෙනවා.

එතැනින් පස්සේ තමයි දසුන් නැවතත් මාධ්‍යවේදීන්ට ඉදිරියට පැන වේගවත් ලකුණු හයක් ලබා ගන්නේ. ඩොමැස්ටික් තරගයක්වත් බලන්නේ නැති මාධ්‍යවේදීන්ට ලුණු ඇඹුල් ඇතුවම දසුන් කියා දෙනවා.

ඔවුන්ට ආරාධනා කරනවා. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් බලන්න කියලා.

මෑත කාලයේ නායකයොත් දුටුවා. තමන්ගේ රට තමන්ගේ ක්‍රීඩාව සහ තමන්ගේ කන්ඩායම වෙනුවෙන් සටන් වදින විශිෂ්ඨ නායකත්වයක් දුටුවා නම්, ඒ තමයි දසුන් ශානක!

සටහන : රිෂී බ්‍රෝ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button